සිංගප්පූරුවේ කැපෙල්ලා හිදී පැවැත්වුණු Asia Tech x Singapore (ATxSG) 2026 ජාත්‍යන්තර තාක්ෂණික සමුළුව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා ප්රමුඛ දූත පිරිසක් සහභාගී වූහ. මැයි 19 සිට 21 දක්වා පැවැත්වුණු මෙම සංචාරයේ ප්‍රධාන අරමුණ වූයේ ශ්‍රී ලංකාවේ ඩිජිටල් පරිවර්තනය, කෘතිම බුද්ධිය (AI), මූල්‍ය තාක්ෂණය (Fintech) සහ සයිබර් ආරක්ෂණය ඇතුළු ක්ෂේත්‍ර රැසක ද්වීපාර්ශ්වික හා කලාපීය සහයෝගීතාව ඉහළ නැංවීමයි.
සමුළුව අතරතුර නියෝජ්‍ය අමාත්‍යවරයා, සිංගප්පූරු ජනාධිපති තර්මන් ෂන්මුගරත්නම් මහතා සහ එර රට ඩිජිටල් සංවර්ධන හා තොරතුරු අමාත්‍ය ජොසෆින් ටියෝ මහත්මිය ඇතුළු ඉහළ පෙළේ නිලධාරීන් හමුවී ඩිජිටල් පොදු යටිතල පහසුකම් හා තාක්ෂණය පදනම් කරගත් ආර්ථික වර්ධනය පිළිබඳව සාකච්ඡා කළේය. මීට අමතරව වියට්නාමයේ විද්‍යා හා තාක්ෂණ නියෝජ්‍ය අමාත්‍ය බුයි හෝං ෆුඔන්ග් මහතා සමඟ ද විශේෂ ද්වීපාර්ශ්වික හමුවක් පැවැත්වුණු අතර, එහිදී වියට්නාමයේ නිල සංචාරයක නිරත වන ලෙස ද ශ්‍රී ලංකා නියෝජ්‍ය අමාත්‍යවරයා වෙත නිල ආරාධනයක් හිමි විය.
Google, Gates Foundation වැනි ජාත්‍යන්තර ආයතන මෙන්ම සිංගප්පූරුවේ වෙසෙන ශ්‍රී ලාංකික තාක්ෂණික හා වෘත්තීය ප්‍රජාව සමඟ ද මෙහිදී සාර්ථක සාකච්ඡා පැවැත්විණි. මෙම නිල සංචාරය සඳහා සිංගප්පූරුවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් සෙනරත් දිසානායක සහ GovTech Sri Lanka හි වැඩබලන ප්‍රධාන විධායක නිලධාරී සංජය කරුණාසේන ඇතුළු දූත පිරිසක් සහභාගී වූහ.
















