මෙරට ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා සෘජු විදෙස් ආයෝජන (FDI) අත්‍යවශ්‍ය බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. කලාපීය අර්බුද හේතුවෙන් මතුවන ඩොලර් සංචිත පිළිබඳ ගැටලුවලට මුහුණ දීම සඳහා ශක්තිමත් ආර්ථික සැලසුමක අවශ්‍යතාව ඔහු පෙන්වා දුන්නේය. ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ අද (29) පස්වරුවේ මධ්‍යම අධිවේගී මාර්ගයේ රඹුක්කන සිට ගලගෙදර දක්වා වූ කොටසේ ඉදිකිරීම් කටයුතුවලට එක්වෙමිනි.
එහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා, විදෙස් ආයෝජන මෙරටට ගෙන ඒමේදී පවතින රාජ්‍ය යාන්ත්‍රණයේ දුබලතා සහ ඉඩම් නිදහස් කිරීමේ බාධාවන් ඉවත් කිරීමට රජයේ අවධානය යොමුව ඇති බව සඳහන් කළේය. ආයෝජකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් “ආයෝජන ආරක්ෂණ පනතක්” ඉතා ඉක්මනින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කිරීමට සැලසුම් කර ඇති අතර, ආයෝජන කටයුතු පහසු කිරීම සඳහා “තනි කවුළුවක” (Single Window) යාන්ත්‍රණයක් නිර්මාණය කරන බව ද ඔහු පැවසීය.
මීට අමතරව, මෙරට සමස්ත අපනයනවලින් 25%ක්ම එක්සත් ජනපදය පදනම් කරගෙන පවතින බැවින්, භාණ්ඩ හා වෙළෙඳපොළ තවදුරටත් වෙනත් රටවල් කරා විවිධාංගීකරණය කළ යුතු බවත්, ආනයන ආදේශන කර්මාන්ත දිරිගැන්වීමට කටයුතු කළ යුතු බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.
















