ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින්, නවසීලන්තයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය ඊයේ (28) විදේශ අමාත්‍ය විජිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණි. විදේශ අමාත්‍යවරයාගේ නවසීලන්ත නිල සංචාරයට සමගාමීව පැවැත්වුණු මෙම අවස්ථාව සඳහා නවසීලන්ත විදේශ කටයුතු අමාත්‍ය වින්ස්ටන් පීටර්ස් (Winston Peters) මහතා ද විශේෂ ආරාධිතයෙකු ලෙස එක්විය. ශ්‍රී ලාංකීය ආගමික වතාවත් සහ නවසීලන්තයේ සාම්ප්‍රදායික ‘මාවෝරි’ (Māori) ආශිර්වාදයන් මධ්‍යයේ උත්සවයේ කටයුතු ආරම්භ කෙරුණු අතර, මෙමඟින් දෙරට අතර සබඳතාවල නව පරිච්ඡේදයක් සනිටුහන් වන බව අමාත්‍ය විජිත හේරත් මහතා ප්‍රකාශ කළේය.
නවසීලන්ත විදේශ කටයුතු නිලධාරීන්, රාජ්‍යතාන්ත්‍රිකයන් සහ එහි වෙසෙන ශ්‍රී ලාංකිකයින් පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැති මෙම නව මහ කොමසාරිස් කාර්යාලය විවෘත කිරීම තුළින් එරට වෙසෙන 30,000කට අධික ශ්‍රී ලාංකිකයින්ට වඩාත් කාර්යක්ෂම කොන්සියුලර් සේවාවක් සැපයීමට අපේක්ෂිතය. එමෙන්ම දෙරට අතර වෙළඳ, අධ්‍යාපන සහ සංචාරක ක්ෂේත්‍රයන් ප්‍රවර්ධනය කිරීම ද මෙහි ප්‍රධාන අරමුණකි.















