ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය සහ ඕස්ට්‍රේලියාව යන රටවල් පවසන්නේ ‘AUKUS’ ලෙස හඳුන්වන ඔවුන්ගේ ත්‍රිපාර්ශ්වික හමුදා සන්ධානය යටතේ, මුහුද යට සන්නිවේදන කේබල් ආරක්ෂා කිරීම සහ කලාපීය ආරක්ෂාව වැඩි දියුණු කිරීම සඳහා දිය යට ඩ්‍රෝන තාක්ෂණය (Underwater Drones) සංවර්ධනය කිරීමට සැලසුම් කර ඇති බවයි.
මේ යටතේ කාර්ය මණ්ඩලයක් නොමැති මුහුද යට වාහන (UUV) තාක්ෂණය ලබන වසර වන විට සූදානම් වනු ඇතැයි අපේක්ෂා කෙරේ. මෙම සමස්ත ව්‍යාපෘතිය සඳහා වැයවන මුළු පිරිවැය මෙතෙක් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නොමැති වුවද, එක්සත් රාජධානියේ ආරක්ෂක ලේකම් ජෝන් හීලි මහතා පැවසුවේ තම රට ඒ වෙනුවෙන් පවුම් මිලියන 150ක් (ඩොලර් මිලියන 201ක්) දායක කරන බවයි.
සිංගප්පූරුවේ පැවති ආරක්ෂක සමුළුවකදී අදාළ රටවල ආරක්ෂක අමාත්‍යවරුන් විසින් මෙම නිවේදනය නිකුත් කරනු ලැබුවේ, AUKUS සන්ධානයේ ව්‍යාපෘතිවල ප්‍රගතිය මන්දගාමී වී ඇති බවට එල්ල වන විවේචන මධ්‍යයේය. මෙම නව පියවර ඉන්දු-පැසිෆික් කලාපය තුළ චීනයේ වර්ධනය වන සමුද්‍රීය බලපෑමට සහ දකුණු චීන මුහුද වැනි මතභේදාත්මක ප්‍රදේශවල පවතින ආතතිකාරී තත්ත්වයන්ට මුහුණ දීම සඳහා ගත් උපායමාර්ගික මාර්ගයක් ලෙස පුළුල් ලෙස සැලකේ.
ආරක්ෂක අමාත්‍යවරුන් නිකුත් කළ ඒකාබද්ධ ප්‍රකාශයක සඳහන් වන්නේ, මුහුදු පත්ලේ යටිතල පහසුකම් ආරක්ෂා කිරීමට, සතුරන්ට ප්‍රහාර එල්ල කිරීමට මෙන්ම නිරීක්ෂණ, ඔත්තු බැලීම් සහ සැපයුම් මෙහෙයුම් සිදු කිරීමට හැකි වන පරිදි “අති නවීන ගෙවීම් සහ සක්‍රීය කිරීමේ පද්ධති” (Advanced payloads and enabling systems) මෙම නව UUV ව්‍යාපෘතියට ඇතුළත් වන බවයි.
















