ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මිල සංශෝධනයට සමගාමීව ලංකා අයි.ඕ.සී සහ සයිනොපෙක් යන සමාගම් ද ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සිය ඉන්ධන මිල ගණන් ඉහළ දමා තිබේ. කෙසේවෙතත් සයිනොපෙක් සමාගම මෙවර සුපර් ඩීසල් මිලෙහි කිසිදු සංශෝධනයක් සිදුකර නොමැති අතර, ඔවුන් මේ වන විටත් සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 600ක මිලකට අලෙවි කරනු ලබයි.
ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වූ මිල සංශෝධනයට අනුව රුපියල් 410ක්ව පැවති ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 24කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 434ක් වේ. රුපියල් 470ක්ව පැවති ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 25කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 495කි. එමෙන්ම රුපියල් 392ක්ව පැවති ඔටෝ ඩීසල් ලීටරයක මිල ද රුපියල් 15කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 407ක් වන බව නිවේදනය කර ඇත. ලංකා ඛනිජ තෙල් සංස්ථාව සහ ලංකා IOC සමාගම් මගින් රුපියල් 458ක්ව පැවති සුපිරි ඩීසල් ලීටරයක මිල ද රුපියල් 20කින් ඉහළ දැමීමට පියවර ගෙන ඇති අතර එහි නව මිල රුපියල් 478ක් වේ. මීට අමතරව ලීටරයක් රුපියල් 265ක්ව පැවති භූමිතෙල් මිල ද රුපියල් 20කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 285ක් වන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.
















