කියුබානු විප්ලවයට එරෙහිව අමෙරිකානු අධිරාජ්‍යවාදය දියත් කර ඇති නවතම සාපරාධී ප්‍රහාරයන් දැඩි ලෙස හෙළා දකිමින් බ්‍රසීල කොමියුනිස්ට් පක්ෂය (Partido Comunista Brasileiro – PCB) විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ රජය විසින් කියුබානු හිටපු ජනාධිපතිවරයෙකු වන රාවුල් කැස්ත්‍රෝට (Raúl Castro) එරෙහිව එල්ල කරන චෝදනා පදනම් විරහිත මෙන්ම, කියුබාවට එරෙහි ආර්ථික සම්බාධක සහ තර්ජන තීව්‍ර කිරීම සඳහා සැලසුම් කරන ලද දේශපාලන කුමන්ත්‍රණයක් බව එම පක්ෂය පෙන්වා දෙයි.
94 වැනි වියෙහි පසුවන රාවුල් කැස්ත්‍රෝ යනු අධිරාජ්‍යවාදී විරෝධයේ සහ ජනතා ස්වෛරීභාවයේ නොමැකෙන සංකේතයක් බව පවසන බ්‍රසීල කොමියුනිස්ට් පක්ෂය, ඔහුට එල්ල කරන ප්‍රහාරයන් සමස්ත කියුබානු විප්ලවයටම එල්ල කරන ප්‍රහාරයන් බව අවධාරණය කරයි. දශක ගණනාවක සම්බාධක මධ්‍යයේ වුවද කුසගින්න, නූගත්කම සහ යටත්විජිතවාදය පරාජය කරමින් මිනිස් ගරුත්වය සුරැකි සමාජවාදී ක්‍රමයක් ගොඩනැඟීමට කියුබාව සමත්වීම අධිරාජ්‍යවාදීන්ට දිරවාගත නොහැකි වී ඇතැයිද එහි සඳහන් වේ.
කියුබාවට එරෙහිව සිදුවන මෙම බලපෑම් හමුවේ බ්‍රසීල රජය දක්වන උදාසීන පිළිවෙතද එරට කොමියුනිස්ට් පක්ෂයේ දැඩි දෝෂදර්ශනයට ලක්ව ඇත. ලෝක බලවතුන්ගේ රාජ්‍ය තාන්ත්‍රික අවශ්‍යතාවලට යටත් නොවී, කියුබානු ජනතාව වෙනුවෙන් ස්ථිරසාර සහයෝගීතාවයක් දැක්වීමට බ්‍රසීල රජය අපොහොසත් වී ඇති බව පක්ෂය පවසයි.
“අධිරාජ්‍යයන් බිඳ වැටුණද, අරගල කරන ජනතාව සදාකල් රැඳී සිටින බව ඉතිහාසය පෙන්වා දී තිබේ. කියුබාව කිසිවිටෙකත් අධිරාජ්‍යවාදය හමුවේ දණ නමන්නේ නැත. කමාන්ඩර් රාවුල් කැස්ත්‍රෝ සහ කියුබානු විප්ලවය වෙත පූර්ණ සහයෝගය දැක්වීම, අමෙරිකාව විසින් කියුබාවට පනවා ඇති සාපරාධී ආර්ථික සම්බාධක වහාම ඉවත් කිරීම සහ කියුබාව අස්ථාවර කිරීමට ගන්නා සියලු උත්සාහයන් ප්‍රතික්ෂේප කිරීම අපගේ අරමුණයි. අධිරාජ්‍යවාදය පරදවමු! කියුබානු විප්ලවය වැජඹේවා! නිර්ධන පන්තික ජාත්‍යන්තරවාදය දිනේවා!” යන සටන් පාඨ පෙරදැරි කරගනිමින්, ෆිදෙල් කැස්ත්‍රෝ, චේ ගුවේරා සහ රාවුල් කැස්ත්‍රෝගේ මව්බිම ආරක්ෂා කිරීමට ලෝකවාසී කම්කරු ජනතාව සූදානම් බව ප්‍රකාශ කරමින් බ්‍රසීල කොමියුනිස්ට් පක්ෂය මෙම නිවේදනය අවසන් කර ඇති බව The Left Chapter වෙබ් අඩවිය වාර්තා කරයි.
















