ශ්‍රී ලංකාවේ වර්තමාන ඉඩම් අයිතිය සහ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ ආරම්භය අතීතයේ පැවති සක්‍රිය අරගලයන්ගේ ප්‍රතිඵලයක් ලෙස සමාජය දිනාගත් ජයග්‍රහණයක් බව නියෝජ්‍ය ඇමති නලින් හේවගේ මහතා අවධාරණය කරයි.
1970 දශකයේ මුල් භාගය වන විට මෙරට ඉඩම් බෙදී යාමේ පැවති අසමමිතික භාවය හේතුවෙන් එක් පුද්ගලයෙකු සතුව අක්කර 500, 1000 සහ 2000 වැනි විශාල ඉඩම් ප්‍රමාණයක් පැවති බව ඔහු පෙන්වා දුන්නේය. ඉඩම් නොමැති ජනතාව තුළ ඇති වූ පීඩනය 1971 අරගලය නිර්මාණය වීමට එක් ප්‍රධාන සාධකයක් වූ බවත්, එම අරගලයට විසඳුම් ලෙස 1972 වසරේදී ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව පිහිටුවා ඉඩම් හිමිකාරිත්වය සඳහා සීමාවන් පැනවූ බවත් ඔහු සඳහන් කළේය. ලංකාවේ ජන ඝනත්වය වර්ග කිලෝමීටරයකට 349ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, සීමිත භූමි ප්‍රමාණය පරිසර පද්ධතිය ආරක්ෂා කිරීම, නිවාස අවශ්‍යතා සපුරාලීම සහ කර්මාන්ත පද්ධතීන් පවත්වාගෙන යාම සඳහා සමබරව කළමනාකරණය කිරීම රජය මුහුණ දී සිටින ප්‍රධාන ගැටලුවක් බව හෙතෙම පැවසීය. පසුගිය කාලයේ විවිධ අක්‍රමිකතා හේතුවෙන් කළු පැල්ලමක්ව පැවති ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව නිවැරදි මාවතට ගැනීමට වර්තමාන රජය කටයුතු කරන බවත්, වලහදුව වැනි ඉඩම් ගැටලු නිවැරදි කරමින් ඉඩම් නොමැති ජනතාවට ඉඩම් ලබාදීමේ ක්‍රියාවලිය කිසිදු අනවශ්‍ය සංදර්ශනයකින් තොරව වේගවත්ව ඉටු කරන බවත් ඔහු සහතික විය.

