දකුණු අප්‍රිකාව මුහුණ දී සිටින ආර්ථික අර්බුදය, විරැකියාව සහ පොදු ජන පීඩනය හමුවේ කම්කරු පන්තියේ බලය ශක්තිමත් කිරීම සඳහා එරට ප්‍රධාන වාමාංශික දේශපාලන පක්ෂ සහ ප්‍රගතිශීලී සංවිධාන රැසක් එක්ව පැවැත්වූ ‘වාමාංශික සමුළුව (Conference of the Left)’ ජොහැනස්බර්ග් හී දී සාර්ථකව නිමාවට පත්ව තිබේ. දකුණු අප්‍රිකානු කොමියුනිස්ට් පක්ෂය (SACP) විසින් ‘කම්කරු පන්තිය සහ පොදු ජන බලය වෙනුවෙන් වාමාංශික ව්‍යාපාරයක් ගොඩනැඟීම’ යන තේමාව යටතේ මැයි 29 වැනිදා මෙම ඓතිහාසික සමුළුව ආරම්භ කර තිබුණි.
සමුළුව අමතමින් දකුණු අප්‍රිකානු කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් සොලි මාපයිලා (Solly Mapaila) ප්‍රකාශ කළේ, මෙම එකමුතුව පක්ෂ විසුරුවා හැරීමක් නොව, කම්කරු පන්තියේ පොදු න්‍යාය පත්‍රය වෙනුවෙන් ඒකාබද්ධ සම්බන්ධීකරණ වේදිකාවක් නිර්මාණය කිරීමක් බවයි. එමෙන්ම එහිදී Economic Freedom Fighters (EFF) හී නායක ජුලියස් මලෙමා (Julius Malema) විසින් ගෝලීය ධනවාදී ක්‍රමය විවේචනය කරමින් පෙන්වා දුන්නේ, ලෝකය තාක්ෂණික අතින් ඉහළම තැනක තිබුණද පෞද්ගලික ලාභ බෙදීමේ ක්‍රමය නිසා බිලියන සංඛ්‍යාත ජනතාවක් තවමත් දුප්පත්කම මධ්‍යයේ ජීවත් වන බවයි.
මෙම සමුළුව සඳහා දකුණු අප්‍රිකානු කොමියුනිස්ට් පක්ෂය, EFF, AZAPO සහ Mkhonto we Sizwe ඇතුළු දේශපාලන පක්ෂ 14ක්, වෘත්තීය සමිති 14ක් සහ තවත් සමාජ, ප්‍රජා හා ජාත්‍යන්තර සංවිධාන රැසක් සහභාගී වී තිබේ. කළු ජාතික බහුතරය එක්ව දේශපාලන බලය ලබාගැනීමේ අවශ්‍යතාව අවධාරණය කළ සමුළුවේ නායකයින්, මෙම වාමාංශික වේදිකාව ස්ථිරව පවත්වාගෙන යාම සඳහා ඉදිරියේදී ‘විප්ලවීය කවුන්සිලයක් (Revolutionary Council)’ පිහිටුවීමටද මෙහිදී යෝජනා කරන ලදී.
















