ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) මගින් ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිත විස්තීරණ ණය පහසුකමේ 6 වැනි සහ 7 වැනි වාරික මුදල් ජුනි මස මුල් සතිය තුළ මෙරටට ලැබෙනු ඇතැයි මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යාංශය පවසයි. අමාත්‍යාංශය සඳහන් කරන්නේ ඒ සඳහා වන මූලික කටයුතු මේ දිනවල සාර්ථකව සිදු වෙමින් පවතින බවයි.
ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රියාත්මක විස්තීරණ ණය පහසුකමේ 5 වැනි සහ 6 වැනි සමාලෝචන යටතේ, තවත් ඇමරිකානු ඩොලර් මිලියන 695 ක මුදලක් ලබාදීමට පසුගිය 27 වැනිදා IMF විධායක මණ්ඩලයේ අනුමැතිය හිමිවිය. ඒ අනුව 2022 වසරේදී ශ්‍රී ලංකාව මුහුණ දුන් දරුණු ආර්ථික අර්බුදයෙන් මිදීම සඳහා 2023 වසරේ මාර්තු මාසයේදී අනුමත කරන ලද මාස 48 ක මෙම වැඩසටහන යටතේ මෙතෙක් ලබා දී ඇති සමස්ත මුදල් ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 2.4 කි.
මේ යටතේ ශ්‍රී ලංකාව එකඟ වූ ආර්ථික ප්‍රතිසංස්කරණ සාර්ථකව ඉටුකර ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි. විශේෂයෙන්ම මෙරට ඛනිජ තෙල් හා විදුලි ක්ෂේත්‍රවල පැවති දැඩි අර්බුදකාරී තත්ත්වය ශ්‍රී ලංකා බලධාරීන් මේ වන විට විසඳා ඇති බවත්, පසුගිය දෙසැම්බර් අවසානය වන විට නියම කර තිබූ ප්‍රමාණාත්මක ඉලක්ක සම්පූර්ණ කිරීමට මෙරට රජය සමත්ව ඇති බවත් IMF විධායක මණ්ඩලය වැඩිදුරටත් පෙන්වා දී තිබේ.
















