වත්මන් රජය විසින් තාප බලාගාරවලින් විදුලි ඒකකයක් රුපියල් 100කට අධික ඉහළ මිලකට මිලදී ගනිමින් සිටින බව විදුලි පාවිච්චි කරන්නන්ගේ සංගමයේ සභාපති එම්.ඩී.ආර්. අතුල මහතා පවසයි. නිවෙස්වල ස්ථාපිත කර ඇති සූර්ය පැනල මගින් නිපදවන විදුලි ඒකකයක් රුපියල් 45ක මිලකට මිලදී ගන්නා බවට රජය පොරොන්දු වුවද, එම පොරොන්දුව මෙතෙක් ක්‍රියාත්මක කර නොමැති බව ඔහු පෙන්වා දෙයි.
සභාපතිවරයා සඳහන් කරන්නේ රට තුළ සූර්ය බලශක්ති උත්පාදනය සහ නිෂ්පාදනය වැඩි වුවහොත් තාප බලාගාරවලින් මෙලෙස අධික මිලකට විදුලිය මිලදී ගැනීමට රජයට අවස්ථාවක් නොලැබෙන බවයි. රජය පුනර්ජනනීය බලශක්ති වැඩපිළිවෙළවල් ප්‍රමුඛව ක්‍රියාත්මක කිරීමට උනන්දුවක් නොදක්වන්නේ තාප බලාගාර සඳහා අවශ්‍ය වන තෙල්වලින් ලැබෙන කොමිස් මුදල්වලට ඇති ගිජුකම නිසා බවට ද ඔහු බරපතළ චෝදනාවක් එල්ල කරයි.
පාලකයින්ට පාරිභෝගිකයා මුහුණ දෙන ප්‍රශ්න විසඳීමට කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවත්, ඔවුන් තාප බලාගාරවලින් දිගින් දිගටම විදුලිය මිලදී ගැනීමට පෙළඹී සිටින්නේ ඒ හරහා ලැබෙන “තෙල් රහ” නිසා බවත් අතුල මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.
















