උතුරු නැගෙනහිර ප්‍රදේශවල වළදමා ඇති බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතු වෙනුවෙන් ජපන් රජය විසින් 2026/27 වර්ෂය සඳහා ඇමරිකානු ඩොලර් 1,343,202 ක මුදලක් ලබා දී තිබේ. මෙම මූල්‍ය ආධාර මගින් අදාළ කාලසීමාව තුළ වර්ග මීටර් ලක්ෂ හතරක භූමි ප්‍රමාණයක බිම්බෝම්බ ඉවත් කිරීමට හැකිවනු ඇතැයි එම කටයුතුවල නිරත ආයතන බලාපොරොත්තු පළ කරයි.
2002 වසරේ සිට මේ දක්වාම ජපන් රජය විසින් ශ්‍රී ලංකාවේ බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතු සඳහා මූල්‍ය දායකත්වය ලබා දී ඇති අතර, ඒ අනුව මේ වන විට ලබා දී ඇති සමස්ත මුදල ඇමරිකානු ඩොලර් මිලියන 49 කි. එම මුදල් භාවිත කරමින් ගතවූ කාලය තුළ වර්ග කිලෝමීටර් 121 ක පමණ භූමි ප්‍රමාණයක තිබූ බිම්බෝම්බ 303,000 කට වඩා වැඩි ප්‍රමාණයක් ඉවත් කිරීමට පියවර ගෙන ඇත.
බිම්බෝම්බ ඉවත් කරන ලද මෙම භූමි ප්‍රදේශවල පෙර පදිංචිව සිටි පුද්ගලයින් 180,000 ක් පමණ ප්‍රතිස්ථාපනය කිරීමට (යළි පදිංචි කරවීමට) මේ වන විට හැකියාව ලැබී තිබේ. මේ හේතුවෙන් වසර ගණනාවක් තිස්සේ යුද්ධයෙන් පීඩාවට පත්ව සිටි ජනතාවට යළිත් සිය කෘෂිකාර්මික කටයුතු ආරම්භ කිරීමට අවකාශ ලැබී ඇති අතර, ඒ තුළින් ඔවුන්ගේ එදිනෙදා ජීවනෝපාය මාර්ග සකස් කර ගැනීමට සහ ආර්ථිකය ශක්තිමත් කර ගැනීමට විශාල පිටුවහලක් ලැබී ඇත.
















