පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සත්ත්ව විද්‍යා අංශයේ ප්‍රධානී මහාචාර්ය සුයාමා බෝයගොඩ මහත්මිය ඇතුළු පර්යේෂණ කණ්ඩායමක් විසින් දුම්බර කඳුවැටිය ආශ්‍රිතව ශ්‍රී ලංකාවට ආවේණික නව මී විශේෂයක් සොයාගෙන තිබේ. 2001 වසරේදී ආරම්භ කරන ලද දීර්ඝකාලීන පර්යේෂණයක ප්‍රතිඵලයක් ලෙස මෙම සත්ත්ව විශේෂය සොයාගෙන ඇති අතර, එයට ‘මොස් දුම්බර’ හෙවත් ‘දුම්බර හීන් කටු මීයා’ ලෙස නම් තබා ඇත.
මෙම මී විශේෂය නකල්ස් අධි ආරක්‍ෂිත පරිසර පද්ධතියට ආසන්න ප්‍රදේශයකින් හමුවී ඇති අතර, ශ්‍රී ලංකාවෙන් මින් පෙර මී විශේෂ 14ක් සොයාගෙන තිබූ බැවින් මෙම නව විශේෂයත් සමඟ සමස්ත මී විශේෂ සංඛ්‍යාව 15ක් දක්වා ඉහළ ගොස් ඇත. මොස් ප්‍රනාන්දු සහ මොස් මයෝරි යන විශේෂ දෙකද ශ්‍රී ලංකාවට ආවේණික කටු මී විශේෂ වුවත්, නව සොයාගත් මීයා එම සතුන්ට වඩා වෙනස්කම් රැසක් පෙන්නුම් කරන බව මහාචාර්යවරිය සඳහන් කළාය. තවද, මිනිසා විසින් පරිසර පද්ධතිවල සමතුලිතතාව බිඳ දැමීම හේතුවෙන් මෙවැනි ආවේණික සත්ත්ව විශේෂ වඳවී යාමේ තර්ජනයට ලක්විය හැකි බව මහාචාර්ය බෝයගොඩ මහත්මිය වැඩිදුරටත් අවධාරණය කළාය.
















