ශ්‍රී ලංකා – ඉන්දියා නාවික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් ඉන්දීය නාවික හමුදාවට අයත් ‘ඓරාවත්’ (INS Airavat) නෞකාව අද (01) සිට 04 වැනිදා දක්වා කොළඹ වරායේ නිල සංචාරයක නිරත වීමට නියමිත බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පවසයි. මෙය ඉන්දීය නාවික හමුදාවට අයත් ‘ෂර්දුල්’ පන්තියේ ගොඩබෑමේ නෞකාවකි (Landing Ship Tank).
මෙම නෞකාව මෙරටට පැමිණෙන්නේ මෙහෙයුම් කටයුතු සඳහා අවශ්‍ය ඉන්ධන සහ ආහාර ද්‍රව්‍ය ලබා ගැනීමේ අරමුණෙනි. එමෙන්ම, ඉන්දීය රජයේ ප්‍රදානයක් ලෙස ශ්‍රී ලංකා වෙරළාරක්ෂක බලකායට අයත් ‘සුරක්ෂා’ නෞකාවට අත්‍යවශ්‍ය අමතර කොටස් තොගයක් මෙම නෞකාව මගින් රැගෙන ඒම මෙම සංචාරයේ විශේෂත්වයක් බව මහ කොමසාරිස් කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරයි.
මීට අමතරව, ‘ක්ලීන් ශ්‍රී ලංකා’ (Clean Sri Lanka) වැඩසටහනට සහය දක්වමින් කොළඹ ප්‍රදේශයේ වෙරළ පිරිසුදු කිරීමේ වැඩසටහනකටද නෞකාවේ කාර්ය මණ්ඩලය සහභාගි වීමට නියමිතය.















