දිට්වා සුළි කුණාටුවෙන් පොදු ස්ථානවලට සිදු වූ හානි මේ දක්වා පිළිසකර කිරීමට නොහැකි වී ඇත්තේ නිලධාරීන්ගේ වගකීම් විරහිතභාවය සහ නිසි පරිදි කටයුතු නොකිරීම හේතුවෙන් බව අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පවසයි. උමා ඇළ මහා වාරි ඇළ ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව අවධාරණය කළේය.
මස්පන්නේ බස් නැවතුම්පොළ සහ හලාඹේ පාලම වැනි ස්ථානවල සිදුවූ විනාශයන් සඳහා නිසි තක්සේරු වාර්තා පවා සකස් කර නොතිබීම අමාත්‍යවරයා දැඩි ලෙස විවේචනය කළේය. ඇතැම් ව්‍යාපෘති සඳහා අයිතිකරුවන් හඳුනා ගැනීමට පවා කාලයක් ගතවීම නිලධාරීන්ගේ මන්දගාමී ක්‍රියාපිළිවෙත මනාව පෙන්නුම් කරන බව ඔහු පැවසීය.
වාරිමාර්ග ව්‍යාපෘති සඳහා වෙන් කර ඇති බිලියන 500ක ප්‍රතිපාදනවලින් මේ දක්වා වියදම් වී ඇත්තේ ඉතා සුළු ප්‍රමාණයක් එනම් බිලියන 168ක් පමණක් බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. මෙම වසර තුළ එම අරමුදල් නිසි ලෙස ප්‍රයෝජනයට නොගතහොත් අනාගතයේදී අරමුදල් ලබා ගැනීම අපහසු වනු ඇති බව ඔහු අනතුරු ඇඟවීය.
දිට්වා සුළි කුණාටුව දඩමීමා කරගෙන වැඩ ප්‍රමාද කිරීම පිළිගත නොහැකි බවත්, අතපසු වූ සියලු ප්‍රතිසංස්කරණ කටයුතු කඩිනමින් ආරම්භ කරන ලෙසත් අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය. දේශපාලන අධිකාරියක් ලෙස තමන් අරමුදල් ලබා දීමට කටයුතු කරන බැවින්, නිලධාරීන් ඇස්තමේන්තු සකස් කිරීමේ වගකීම ඉටු කළ යුතු බවත්, මෙහිදී ජනතාවගේ සහයෝගයද අත්‍යවශ්‍ය බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.
















