ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ශ්‍රී ලංකාවට ලබාදෙන විස්තීරණ ණය පහසුකමේ 6 වැනි සහ 7 වැනි වාරික මුදල් ජුනි මස මුල් සතිය තුළදී මෙරටට ලැබෙනු ඇතැයි මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යාංශය පවසයි. දැනට මෙම මුදල් ලබාගැනීමට අදාළ මූලික කටයුතු සිදු කෙරෙමින් පවතී.
ශ්‍රී ලංකාව සඳහා ක්‍රියාත්මක විස්තීරණ ණය පහසුකමේ 5 වැනි සහ 6 වැනි සමාලෝචනය යටතේ, අතිරේක ඇමරිකානු ඩොලර් මිලියන 695ක මුදලක් ලබාදීමට පසුගිය 27 වැනිදා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයේ අනුමැතිය හිමිවිය. 2023 මාර්තු මාසයේ අනුමත කරන ලද මාස 48ක මෙම වැඩසටහන යටතේ මේ දක්වා ශ්‍රී ලංකාවට ලබා දී ඇති සමස්ත මුදල් ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 2.4කි. 2022 වසරේ ඇති වූ දරුණු ආර්ථික අර්බුදයෙන් රට මුදා ගැනීම සඳහා මෙම ණය පහසුකම අත්‍යවශ්‍ය විය.
ශ්‍රී ලංකාව එකඟ වූ ආර්ථික ප්‍රතිසංස්කරණ සාර්ථකව ක්‍රියාත්මක කර ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පෙන්වා දෙයි. විශේෂයෙන්ම මෙරට ඛනිජ තෙල් සහ විදුලි ක්ෂේත්‍රවල පැවති අර්බුදකාරී තත්ත්වයන් විසඳීමට බලධාරීන් කටයුතු කර ඇති බවත්, පසුගිය දෙසැම්බර් අවසානය වන විට නියම කර තිබූ සියලුම ප්‍රමාණාත්මක ඉලක්ක සම්පූර්ණ කිරීමට රජය සමත්ව ඇති බවත් විධායක මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරයි.















