පක්ෂ මාරු කළහොත් මන්ත්‍රී ධුරය අහෝසි කෙරෙන පනත පාර්ලිමේන්තුවට ගෙන ඒම ඉතා හොඳ කරුණක් බවත්, ඒ සඳහා තම පූර්ණ සහය ලබා දෙන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි. පාතහේවාහැට මාරස්සන දමුණුගොල්ල ශ්‍රී සුධර්මාරාම විහාරස්ථානයේ උත්සව අවස්ථාවකට සහභාගි වීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.
ජනතාව මන්ත්‍රීවරයෙකු පාර්ලිමේන්තුවට තෝරා පත් කර යවන්නේ අදාළ පක්ෂය සහ එහි නායකයා කෙරෙහි විශ්වාසය තබා බැවින්, නායකයා කෙරෙහි අවිශ්වාසයක් ඇති වූ පමණින් පක්ෂය මාරු කිරීම සාධාරණ නොවන බව රාජපක්ෂ මහතා පෙන්වා දෙයි. තවද, මෙම පනත ගෙන ඒම අනිවාර්යයෙන්ම සිදුවිය යුතු බවත්, ආණ්ඩුව දෙදරමින් පවතින බව දැනෙන වකවානුවක හෝ මාලිමා ආණ්ඩුව මෙම පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ නම් එය අගය කරන බවත් ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.
















