මීගොඩ, හයිලෙවල් මාර්ගයේ බැද්දේගෙදර මුල්ල හන්දිය අසල පැවැති රොටි දන්සලක් අසල රැඳී සිටි පිරිසක් මතට වේගයෙන් පැමිණි කැබ් රථයක් කඩා වැදීමෙන් පුද්ගලයින් හය දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙම ඛේදජනක අනතුරින් මියගිය පිරිස අතර එකම පවුලේ ඥාතීන් සිව්දෙනෙකු ද සිටින බව මීගොඩ පොලිසිය පවසයි.
අනතුරින් මියගිය එම සිව්දෙනා පිළියන්දල, වෑවල ප්‍රදේශයේ පදිංචිව සිටි පි. බි ඉන්ද්‍රානි (56), ඇයගේ දියණිය නවීෂා නිලක්ෂි (35), ඇයගේ සැමියා වන යුද හමුදාවේ සේවය කරන ලසික ප්‍රියංකර නානායක්කාර (38) සහ 15 හැවිරිදි පාසල් සිසුවියක වන මලීශා සත්සරනි ලෙස හඳුනාගෙන ඇත.
මියගිය පිරිස ඉකුත් සෙනසුරාදා පිළියන්දල පිහිටි සිය නිවසේ සිට වෙසක් සිරි නරඹමින් ත්‍රිරෝද රථයකින් අවිස්සාවේල්ල දෙසට ගමන් කරමින් සිටියදී, මීගොඩ ප්‍රදේශයේදී දන්සලක් අසල නවතා රොටි ලබා ගැනීම සඳහා පෝලිමේ රැඳී සිට ඇත. ඒ අතරතුර අවිස්සාවේල්ල දෙසින් පැමිණි කැබ් රථයක් දන්සල අසල සිටි 13 දෙනෙකු පමණ ගැටී ඇත.
අනතුර සිදුකළ කැබ් රථයේ රියදුරු නොනවත්වා ධාවනය කර ඇති අතර, පසුව හෝමාගම ගොඩගම හන්දියේදී පොලිසිය විසින් රථය සහ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත. අදාළ රියදුරු මත්පැන් පානය කර සිටි බවට වෛද්‍ය පරීක්ෂණවලදී සනාථ වී ඇති අතර, සැකකරු හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. අනතුරින් තුවාල ලැබූ තවත් පුද්ගලයින් හත් දෙනෙකු මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටී.
















