මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් වරදකරු වී සිටින ගම්පොළ විදානගේ සමන්ත කුමාර හෙවත් ‘වෙලේ සුදා’ විසින් ගොනු කර තිබූ විශේෂ අභියාචනා පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය අද (01) ප්‍රතික්ෂේප කර තිබේ. ඒ අනුව, මීට පෙර කොළඹ මහාධිකරණය මගින් ඔහුට නියම කළ මරණ දණ්ඩනය තවදුරටත් බලාත්මක වනු ඇත.
මහින්ද සමයවර්ධන, අර්ජුන ඔබේසේකර සහ ශෝභිත රාජකරුණා යන විනිසුරුවරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේ මෙම පෙත්සම විභාග වූ අතර, එහිදී පෙත්සම්කරුගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට තීරණය කෙරිණි.
2008 වසරේදී ගල්කිස්ස ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 7.05ක් ළඟ තබා ගැනීම සහ ජාවාරම් කිරීමේ චෝදනාවට වරදකරු වූ ‘වෙලේ සුදා’ට 2015 ඔක්තෝබර් 14 දින කොළඹ මහාධිකරණය විසින් මරණ දණ්ඩනය නියම කරන ලදී. එම තීන්දුව පසුව 2019 අප්‍රේල් 05 දින අභියාචනාධිකරණය විසින් ද තහවුරු කරනු ලැබීය. තමන්ට එරෙහිව පහළ අධිකරණ ලබා දුන් මෙම තීන්දු බල රහිත කරන ලෙස ඉල්ලමින් ඔහු ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මෙම පෙත්සම ගොනු කර තිබුණි.
















