ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්දේශය මත, ජනාධිපතිතුමා විසින් විශ්‍රාමික තානාපතිනි ග්‍රේස් ආසිර්වාදම් මහත්මිය කාන්තාවන් පිළිබඳ ජාතික කොමිෂන් සභාවේ නව සභාපතිනිය ලෙස පත් කර තිබේ.
2024 අංක 37 දරන කාන්තා බලගැන්වීමේ පනත යටතේ ස්ථාපිත මෙම කොමිෂන් සභාව, කාන්තා අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම, ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය ප්‍රවර්ධනය කිරීම සහ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම් විමර්ශනය කිරීම වැනි පුළුල් වගකීම් සමුදායක් පැවරී ඇති ආයතනයකි. 2025 සැප්තැම්බර් මාසයේදී විධිමත් ලෙස සංස්ථාපනය කෙරුණු මෙම කොමිසම, මේ වනවිට සිය ආයතනික රාමුව, පරිපාලන කටයුතු සහ යටිතල පහසුකම් ස්ථාපිත කරමින් ක්‍රියාත්මක වීමේ මූලික අදියරේ පසුවේ.
නව සභාපතිනිය ලෙස පත් වූ ග්‍රේස් ආසිර්වාදම් මහත්මිය, මීට පෙර නේපාලය, නෙදර්ලන්තය, බෙල්ජියම සහ ලක්සම්බර්ග් යන රටවල තානාපතිනිය ලෙසත්, යුරෝපීය සංගමයේ දූත මණ්ඩල ප්‍රධානියා ලෙසත් ඉහළ රාජ්‍ය තාන්ත්‍රික සේවාවක නිරත වූ අත්දැකීම් බහුල නිලධාරිනියකි.
මෙම කොමිෂන් සභාවේ සාමාජිකයින් ලෙස ශ්‍රීන් සරූර්, ජනහා සෙල්වරාස්, ජයන්ති කුරු-උතුම්පාල, වෛද්‍ය පද්මා ගුණරත්න, ආචාර්ය කලන සේනාරත්න, එම්. යූ. ගයනි යන මහත්ම මහත්මීන් සහ විධායක අධ්‍යක්ෂ ලෙස කේ. ඩී. ආර්. ඔල්ගා මහත්මිය ද කටයුතු කරනු ලබයි. ශ්‍රී ලාංකික කාන්තාවන්ගේ අයිතිවාසිකම් සහ සවිබල ගැන්වීම් වෙනුවෙන් කොමිෂන් සභාවේ කාර්යභාරය උපරිමයෙන් ඉටු කිරීමට නව සභාපතිනියගේ ප්‍රධානත්වයෙන් යුත් මෙම කණ්ඩායම සාමූහිකව කටයුතු කිරීමට නියමිතය.
















