සංචාරක වීසා භාවිත කරමින් ශ්‍රී ලාංකිකයින් ඩුබායි සහ මොල්ඩෝවා රාජ්‍යයන්හි රැකියා සඳහා යොමු කිරීමේ ජාවාරමක නිරත වූ රන්තැටිගේ නිශ්ශංක ප්‍රියදර්ශන හෙවත් “ඩුබායි සුද්දා” අද (01) කඩුවෙල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ පොලිස් ඒකකය විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකළේය. සැකකරු බුලත්සිංහල ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරයෙකු ද වේ.
ඩුබායි රැකියාවක් ලබාදෙන බව පවසා ගිරිඋල්ල ප්‍රදේශයේ පුද්ගලයෙකුගෙන් රුපියල් ලක්ෂ 7ක මුදලක් ලබාගෙන පොරොන්දු වූ පරිදි රැකියාව ලබා නොදීම සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලක් මත මෙම වැටලීම සිදු කෙරිණි. කඩුවෙල ප්‍රදේශයේ රැඳී සිටි සැකකරු අත්අඩංගුවට ගැනීමට යාමේදී ඔහු සිය පුද්ගලික රථයෙන් පලා යාමට උත්සාහ දරා තිබේ. සැකකරු සමාජ මාධ්‍ය ඔස්සේ මෙම ජාවාරම මෙහෙයවා ඇති අතර, මොහු මීට පෙරද කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන ඇප මත මුදාහැර සිටි අයෙකි.
සැකකරු හෙට (02) කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. වලංගු බලපත්‍රයක් නොමැතිව විදේශ රැකියා සඳහා බඳවා ගැනීම නීතිවිරෝධී බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය අවධාරණය කරයි. අදාළ සැකකරුට මුදල් ලබාදී හෝ මෙම ජාවාරමට හසුවී ඇති අයෙක් වේ නම් කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ 011 288 2229 අංකය ඔස්සේ තොරතුරු ලබා දෙන ලෙස ඉල්ලා සිටී.
















