ලබන ජුනි 05 වැනි දිනට යෙදෙන ජගත් පරිසර දිනයට සමගාමීව තවත් වනාන්තර පහක් රක්ෂිත වනාන්තර ලෙස ප්‍රකාශයට පත් කිරීමට පියවර ගෙන ඇත. පරිසර අමාත්‍ය දම්මික පටබැඳි මහතා සඳහන් කළ පරිදි, මෙම රක්ෂිත පහම අනුරාධපුර දිස්ත්‍රික්කයේ පිහිටා ඇති අතර, ඒවා නම් රිටිගල රක්ෂිතය, අලියා වැටුණු වැව රක්ෂිතය, බුලාගල රක්ෂිතය, කෝන්කැටියාව රක්ෂිතය සහ කල්ලංචිය වනාන්තරය වේ. මෙම නව රක්ෂිත පහෙහි මුළු භූමි ප්‍රමාණය හෙක්ටයාර 2,169ක් වේ.
2025 වසරේ ආරම්භ කළ ‘වනස්පති’ ජාතික වැඩසටහන යටතේ මේ දක්වා වනාන්තර 81ක් රක්ෂිත ලෙස ගැසට් මගින් ප්‍රකාශයට පත් කර ඇති අතර, ජුනි 05 දින නම් කිරීමට නියමිත නව වනාන්තර පහත් සමඟ එම සංඛ්‍යාව 86ක් දක්වා ඉහළ යනු ඇත.
මෙම වැඩසටහනේ ප්‍රගතිය සම්බන්ධයෙන් අමාත්‍යවරයා දැක්වූ කරුණු අනුව, 2025 වසරේදී වනාන්තර 29ක් රක්ෂිත ලෙස ප්‍රකාශයට පත් කරමින් හෙක්ටයාර 50,000ක පමණ භූමි ප්‍රමාණයක් ආරක්ෂිත වනාන්තර ලෙස නම් කරන ලදී. 2026 වසරේදී ජගත් වනාන්තර දිනය නිමිත්තෙන් අම්පාර, බදුල්ල, නුවරඑළිය සහ මාතර යන දිස්ත්‍රික්කවල හෙක්ටයාර 12,989ක් ආවරණය වන පරිදි වනාන්තර 50ක් රක්ෂිත ලෙස ප්‍රකාශයට පත් කළේය. තවද, අප්‍රේල් මාසයේදී ‘ඒහිපස්සිකෝ’ සාම පා ගමනට සමගාමීව මාතලේ දිස්ත්‍රික්කයේ නුගගහමුල යාය වනාන්තරය සහ කෑගල්ල දිස්ත්‍රික්කයේ පදිගම් පැලැල්ල වනාන්තරය රක්ෂිත ලෙස නම් කරන ලදී.
















