විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන ආබාධ සහිත සිසුන් දිරිගැන්වීමේ අරමුණින්, ඔවුන් සඳහා මහපොළ ශිෂ්‍යත්වයට අමතරව රුපියල් 5,000ක මාසික දීමනාවක් ලබා දීමට රජය තීරණය කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වා මහතා ප්‍රකාශ කළේය. මෙම දීමනාව සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන මෙවර අයවැය හරහා වෙන් කර ඇති බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරයි. ආබාධ සහිත සිසුන් අධ්‍යාපන කටයුතු සිදු කිරීමේදී සාමාන්‍ය සිසුන්ට වඩා වැඩි දුෂ්කරතාවන්ට සහ වැඩි පවුලේ ආර්ථික බරකට මුහුණ දෙන බැවින්, ඔවුන්ගේ අධ්‍යාපන ගමන සුරක්ෂිත කිරීම සහ එම පවුල්වලට සහනයක් සැලසීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණයි.
මීට අමතරව, ආබාධ සහිත පුද්ගලයන් සඳහා රජය විසින් විශේෂ නිවාස සම්පාදන වැඩපිළිවෙළක්ද ක්‍රියාත්මක කර තිබේ. එම වැඩසටහන යටතේ නිවසක් අලුත්වැඩියා කිරීම සඳහා උපරිම රුපියල් ලක්ෂ 5ක මුදලක් සහ නව නිවසක් ඉදිකර ගැනීම සඳහා රුපියල් මිලියනයක මුදලක් ලබා දීමට නියමිතය. එසේම, ආබාධ සහිත පුද්ගලයන්ගේ අවශ්‍යතාවන්ට ගැළපෙන පරිදි වැසිකිළියක් සකස් කර ගැනීම සඳහා රුපියල් ලක්ෂ 1.5ක මුදලක්ද ලබා දෙන බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.
















