හිමාල කඳුකරයේ සුන්දරත්වය නරඹා කෙටි කාලයක් තුළ ශ්‍රී ලංකාවේ වෙරළ තීරයන්හි විවේක ගැනීමට විදෙස් සංචාරකයන්ට අවස්ථාව සලසා දෙන “Peak-to-Ocean” නම් නව සංචාරක සැලසුමක් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකාව සහ නේපාලය බලාපොරොත්තු වන බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරාල් (විශ්‍රාමික) අරුණ ජයසේකර මහතා පවසා ඇත. කොළඹදී පැවති ජාත්‍යන්තර සාගර්මාතා (එවරස්ට් කන්ද) දින සැමරුම් උත්සවයට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
ශ්‍රී ලංකාව සහ නේපාලය අතර 1957 වසරේ සිට පවතින ඓතිහාසික, සංස්කෘතික සහ බෞද්ධ සබඳතා පිළිබඳව සිහිපත් කළ නියෝජ්‍ය අමාත්‍යවරයා, සාර්ක් (SAARC) සහ බිම්ස්ටෙක් (BIMSTEC) වැනි කලාපීය සංවිධාන හරහා දෙරට සමීපව කටයුතු කරන බව අවධාරණය කළේය. නේපාලයේ සාගර්මාතා දින සැමරුම යෙදී තිබුණේ 1953 වසරේ එඩ්මන්ඩ් හිලරි සහ ටෙන්සිං නෝර්ගේ ෂර්පා විසින් එවරස්ට් කඳු තරණය කරමින් තැබූ ඓතිහාසික වාර්තාව සිහිපත් කරමිනි. මෙම උත්සවය සඳහා බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ් මහතා ඇතුළු රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.
















