පසුගිය මාස පහක කාලය තුළ පමණක් ඉන්ධන මිල හත් වතාවක් ඉහළ දමා ඇති බවත්, මෙය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසිවලට යටත්ව සිදුකරන ක්‍රියාවලියක් බවත් මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පවසයි. ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ජනතාවගේ මූලික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා තිබිය යුතු ඩොලර් සංචිත, කෝටිපතියන්ගේ සුඛෝපභෝගී අවශ්‍යතා සපුරා ගැනීම සඳහා රජය විසින් ලබා දෙන බවයි. ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල පහළ යමින් පැවතියද, පාකිස්තානය වැනි රටවල් එම සහනය ජනතාවට ලබා දෙද්දී, ලංකා රජය සියලු සහනාධාර ඉවත් කරමින් ජනතාව දරාගත නොහැකි ජීවන වියදමකට ඇද දමා ඇති බව ඔහු අවධාරණය කරයි.
හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ද මෙහිදී අදහස් දක්වමින් පෙන්වා දුන්නේ, මෑතකදී සුඛෝපභෝගී වාහන ලක්ෂ තුනකට ආසන්න ප්‍රමාණයක් ආනයනය කිරීම හේතුවෙන් දෛනිකව ඩීසල් සහ පෙට්‍රල් භාවිතය ලීටර් දොළොස් ලක්ෂයකින් (1,200,000) ඉහළ ගොස් ඇති බවයි. මීට අමතරව, ඉන්ධන ආනයනයේදී සිදුවන බව පැවසෙන අක්‍රමිකතා සහ මිල ගණන් පිළිබඳව ද ඔහු මෙහිදී කරුණු අනාවරණය කළේය.
මේ අතර, හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කළේ රනිල් වික්‍රමසිංහ මහතා රට භාර ගන්නා විට ආර්ථික වර්ධන වේගය -17.2%ක් ලෙස පැවතියද, 2024 වන විට එය +5.3% දක්වා වර්ධනය කරමින් ආර්ථිකය 22.5%කින් දියුණු කිරීමට හැකි වූ බවයි. ඔහු අවධාරණය කළේ වර්තමාන රජයේ අසාර්ථකත්වය ඔවුන්ගේ නොහැකියාව පෙන්වා දෙන්නක් බවයි.
















