ඉන්ධන මිල සංශෝධනය කළද, එක් එක් ඉන්ධන ලීටරයකින් රජයට සහ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට තවමත් දැඩි පාඩුවක් විඳීමට සිදුවන බව සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා ප්‍රකාශ කරයි. සභාපතිවරයා පෙන්වා දෙන පරිදි, ඩීසල් ලීටරයක පිරිවැය රුපියල් 536ක් වුවද එය අලෙවි කරන්නේ රුපියල් 407කට වන අතර, රජය රුපියල් 100ක සහනාධාරයක් දැරුවද තවමත් රුපියල් 29ක පාඩුවක් සිදු වේ. එමෙන්ම, පෙට්‍රල් ලීටරයක පිරිවැය රුපියල් 494ක් වුවද එය රුපියල් 434කට අලෙවි කිරීම හේතුවෙන් ලීටරයකින් රුපියල් 60ක පාඩුවක් සිදු වන බව ඔහු අනාවරණය කළේය.
ඉන්ධන සහනාධාරය වෙනුවෙන් වෙන් කළ රුපියල් බිලියන 57ක මුදල මෙම ජූනි මාසයෙන් අවසන් වන බවත්, මසකට ඩොලර් මිලියන 100-120ක් පමණවූ ඉන්ධන පිරිවැය පසුගිය මාසයේදී ඩොලර් මිලියන 522ක් දක්වා ඉහළ යාම ආර්ථිකයට සහ ඩොලර් සංචිතයට දැඩි බලපෑමක් එල්ල කර ඇති බවත් ඔහු වැඩිදුරටත් පැවසීය. මේ නිසා ජනතාව වගකීමෙන් යුතුව ඉන්ධන පරිභෝජනය සීමා කළ යුතු බවත්, එසේ නොවුණහොත් ඩොලර් අර්බුදය තවත් උග්‍ර විය හැකි බවත් සභාපතිවරයා අනතුරු ඇඟවීය.
තවද, QR කේත ක්‍රමය නිසි ලෙස ක්‍රියාත්මක නොකරන පිරවුම්හල් පිළිබඳව දැඩි අවධානයක් යොමු කර ඇති බවත්, පිරවුම්හල් හිමියන්ගේ කොමිස් මුදල් වැඩිකර ඇති පසුබිමක QR ක්‍රමය අනුගමනය නොකරන පිරවුම්හල් සඳහා ලබාදෙන දිරි දීමනා මෙම සතියේ සිට කපා හැරීමට කටයුතු කරන බවත් ඔහු ප්‍රකාශ කළේය.
















