ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ව්‍යවසාය සංවර්ධන ආයතනය වන කාර්මික සංවර්ධන මණ්ඩලයේ (IDB) නව සභාපතිවරයා ලෙස යසස් හේවගේ මහතා 2026 ජූනි 1 දින සිය ධුරයේ වැඩ භාර ගත්තේය. වසර 60කට අධික ඉතිහාසයක් ඇති මෙම ආයතනය, ශ්‍රී ලංකාවේ කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත (SME) සංවර්ධනයෙහිලා සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරයි.
බැංකු හා මූල්‍ය, ව්‍යාපාරික උපාය මාර්ග, අලෙවිකරණ සහ ව්‍යවසායකත්ව සංවර්ධන ක්ෂේත්‍රයන්හි දශක දෙකකට ආසන්න පළපුරුද්දක් ඇති හේවගේ මහතා, මීට පෙර කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම්වරයා ලෙස කටයුතු කර ඇත. එසේම, SME Nexus ජාතික උපායමාර්ගික රාමුව සහ යෝජිත ව්‍යවසායකත්ව හා කර්මාන්ත පරිවර්තන අධිකාරිය (EITA) පිහිටුවීමේ ක්‍රියාවලියට ද ඔහු සිය දායකත්වය ලබා දී තිබේ.
සිය බැංකු වෘත්තීය දිවිය තුළ HSBC සහ NDB Bank වැනි ආයතනවල ඉහළ කළමනාකාරීත්ව තනතුරු හොබවා ඇති ඔහු, බැංකු ක්ෂේත්‍රයේ පරිවර්තනීය වෙනස්කම් සඳහා නායකත්වය ලබා දුන් වෘත්තිකයෙකි.
නව තනතුරේ වැඩ භාර ගැනීමෙන් අනතුරුව අදහස් දැක්වූ සභාපතිවරයා, ශ්‍රී ලංකාවේ අතීත ඉංජිනේරු ශිල්පීය හැකියාවන් සිහිපත් කරමින් තාක්ෂණය, නවෝත්පාදනය සහ ව්‍යවසායකත්වය මුල් කරගත් නව කාර්මික යුගයක් කරා රට රැගෙන යාම තම අරමුණ බව පැවසීය. මෙම පත්වීමත් සමඟ කාර්මික සංවර්ධන මණ්ඩලය ඉදිරියේදී වඩාත් නව්‍යකරණය වූ වැඩපිළිවෙළක් සමඟ කර්මාන්ත ක්ෂේත්‍රයේ ප්‍රගතිය උදෙසා ක්‍රියාත්මක වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
















