පසුගිය වසර දහයක කාල සීමාව තුළ මෙරටින් වාර්තා වී ඇති ළමා අපයෝජන සිදුවීම් සංඛ්‍යාව අවම වශයෙන් ලක්ෂය ඉක්මවා ඇති බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති, විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා පවසයි. ළමා හා කාන්තා කාර්යාංශය, ජාතික ළමාරක්ෂක අධිකාරිය, රෝහල් වාර්තා මෙන්ම නීතිය හමුවට වාර්තා නොවූ සිදුවීම්ද ඇතුළුව මෙරට තුළ සැලකිය යුතු ළමා අපයෝජන ප්‍රමාණයක් සිදුවෙමින් පවතින බව පෙන්වා දෙන ඒ මහතා, මේ සම්බන්ධයෙන් කඩිනම් ප්‍රතිපත්තිමය තීරණ ගැනීම අත්‍යවශ්‍ය බව අවධාරණය කරයි.
ගැහැනු දරුවන් මෙන්ම පිරිමි දරුවන් ද අපයෝජනයන්ට ලක්වන අතර, බොහෝ අවස්ථාවල අපයෝජකයා වන්නේ දරුවාට ඉතා සමීප පුද්ගලයෙකු බව වෛද්‍යවරයා පෙන්වා දෙයි. නිවස, ආගමික සිද්ධස්ථාන, පුනරුත්ථාපන මධ්‍යස්ථාන, පාසල් සහ විශ්වවිද්‍යාල නේවාසිකාගාර වැනි ස්ථානවල මෙවැනි අපයෝජන ක්‍රියා බහුලව සිදුවේ. වර්තමාන සමාජය තුළ සමාජ මාධ්‍ය ප්‍රචලිත වීම, සමාජ-ආර්ථික හා දේශපාලන අර්බුද මෙන්ම මත්පැන් සහ මත්ද්‍රව්‍යවලට ගොදුරු වන පිරිස් ඉහළ යාම මෙම තත්ත්වයට ප්‍රධාන වශයෙන් බලපා තිබේ.
ළමා අපයෝජන වැළැක්වීම සඳහා සමාජය තුළ ආකල්පමය වෙනසක් ඇති කිරීමේ වැදගත්කම අවධාරණය කරන වෛද්‍යවරයා, අපයෝජකයන්ට එරෙහිව පවතින නඩු විභාගවල ප්‍රමාදයන් මඟහැර ඒවා කඩිනමින් අවසන් කිරීමට පියවර ගත යුතු බව පවසයි. දරුවකු කුඩා අවධියේදී අපයෝජනයට ලක් වූ විට, ඔහු හෝ ඇය වැඩිහිටි වියට පත් වූ පසු අපයෝජකයෙකු වීමට ඇති ප්‍රවණතාව ඉහළ බවද හෙතෙම සඳහන් කරයි. එබැවින්, ළමා අපයෝජන ක්‍රියාවලට සම්බන්ධ පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමේදී තරාතිරම හෝ දේශපාලන බලතල නොබලා කටයුතු කළ යුතු බව වෛද්‍ය චමල් සංජීව මහතා වැඩිදුරටත් ඉල්ලා සිටියි.
















