කාන්තාවන්ට සිදුවන ලිංගික හිංසන සම්බන්ධයෙන් දිගින් දිගටම දැඩි කතාබහට ලක්ව ඇති පේරාදෙණිය විශ්වවිද්‍යාලය තුළ, එහි සේවය කළ වික්‍රමගේ ස්වර්ණා රම්‍යලතා නමැති දරු දෙදෙනෙකුගේ මවකට සිදුවූ බරපතළ ලිංගික හිංසනයක් සහ ඉන් අනතුරුව ඇය වෘත්තීයමය වශයෙන් දඩයම් කිරීමට එරෙහිව වහාම යුක්තිය ඉටුකළ යුතු බවට සමාජය තුළින් දැඩි බලපෑම් එල්ල වෙමින් පවතී. මීට පෙර දන්ත වෛද්‍ය පීඨයේ සහකාර කථිකාචාර්යවරියක මහාචාර්යවරයෙකුගේ ලිංගික හිංසනවලට එරෙහිව දීර්ඝ සටනකින් පසු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් යුක්තිය දිනාගත්තද, සිවිල් හෝ ආර්ථික ශක්තියක් නොමැති රම්‍යලතා වැනි පහළ ශ්‍රේණිවල සේවිකාවන් තවමත් බලධාරීන්ගේ නොසැලකිල්ල හමුවේ අසරණව සිටින බව අනාවරණය වෙයි.
විශ්වවිද්‍යාලයේ කාන්තා ආරක්ෂක නියාමකවරියක ලෙස සේවය කළ රම්‍යලතා හට, එහි ආරක්ෂක අංශ පරීක්ෂකවරයෙකු වූ ලලිත් වීරසිංහ නමැත්තා විසින් දිගින් දිගටම ලිංගික බලපෑම් සිදුකර ඇති අතර, ඇය විසින් ඒවා ප්‍රතික්ෂේප කරමින් කම්මුල් පහරක් පවා එල්ල කර තිබේ. මේ පිළිබඳව සම්මානිත මහාචාර්ය කමලා ලියනගේ සහ ආචාර්ය කුමාරි තෝරදෙණිය ඇතුළු ත්‍රිපුද්ගල විමර්ශන කමිටුවක් මඟින් සිදුකළ පරීක්ෂණයේදී අදාළ නිලධාරියා වැරදිකරු බව තහවුරු වීම නිසා ඔහුව දොඩංගොල්ල කෘෂි ගොවිපළ වෙත මාරු කර යැවීමට කටයුතු කර තිබුණි. කෙසේ වෙතත්, මහාචාර්ය මධුජිත් මහතා උපකුලපති තනතුරට පත්වීමත් සමඟ, මෙම චෝදනා ලැබූ නිලධාරියාව නැවත විශ්වවිද්‍යාල පරිශ්‍රයේ කාන්තා නිලධාරීන් අධීක්ෂණ කටයුතු සඳහාම කැඳවා ඇති අතර, ඉන් අනතුරුව ඔහු විසින් පළිගැනීමේ චේතනාවෙන් කිසිදු හේතුවක් නොදන්වා රම්‍යලතා මහත්මියව රැකියාවෙන් නෙරපා හැර ඇති බව වාර්තා වෙයි.
තමන්ට සිදුවූ මෙම දරුණු අසාධාරණය සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල බලධාරීන් කිසිදු පියවරක් නොගත් තැන, වින්දිත කාන්තාව විසින් මේ පිළිබඳව අග්‍රාමාත්‍යවරිය වෙත සෘජුවම පැමිණිලි කර ඇති අතර, අගමැතිනියගේ විශේෂ නියෝග මත පේරාදෙණිය පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය මඟින් ලලිත් වීරසිංහට එරෙහිව මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරා තිබේ. එසේ තිබියදීත්, පේරාදෙණිය විශ්වවිද්‍යාල පාලනාධිකාරිය විසින් අතවරයට ලක්වූ කාන්තාවට ඇයගේ රැකියාව නැවත ලබාදීමට මෙතෙක් කටයුතු කර නොමැති අතර, චෝදනා ලැබූ නිලධාරියාට අධිකරණයට යාම සඳහා ‘රාජකාරී නිවාඩු’ පවා ලබාදෙමින් ඔහුව ආරක්ෂා කිරීමට කටයුතු කිරීම දැඩි පිළිකුලට ලක්ව ඇත. කාන්තාවන්ට එරෙහි ලිංගික හිංසන වැලැක්වීමට නීති සකස් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග පවා ලැබී ඇති මෙවැනි වටපිටාවක, රම්‍යලතා හට වහාම යුක්තිය ඉටුකර ඇයගේ රැකියාව නැවත ලබාදිය යුතු බවට සිවිල් සංවිධාන බලකර සිටී.
















