සොරකම් කිරීම් සහ කඩාකප්පල්කාරී ක්‍රියා හේතුවෙන් දැඩි ලෙස හානියට පත්ව ඇති කොළඹ – කටුනායක අධිවේගී මාර්ගයේ සහ කෙරවලපිටිය පිවිසුම් මාර්ගයේ විදුලි ආලෝක පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමට සහ උත්ශ්‍රේණිගත කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.
ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය පෙන්වා දෙන පරිදි, දැනට පවතින විදුලි ආලෝක පද්ධතියෙන් සියයට 85ක් පමණ අක්‍රිය වී ඇති අතර, මෙය රියදුරන්ගේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් වී ඇත.
මෙම ව්‍යාපෘතියේ පළමු අදියර යටතේ පෑලියගොඩ, කෙරවලපිටිය, සීදූව සහ ජා-ඇළ පිවිසුම් මාර්ගවල ආලෝක පද්ධතිය නැවත ස්ථාපිත කිරීමට නියමිතය. ඉන් අනතුරුව නව කැලණි පාලමේ සිට පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොළ දක්වාත්, සීදූවේ සිට බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ දක්වාත් වූ කොටස් ආලෝකමත් කිරීමට සැලසුම් කර ඇත.
මෙම ප්‍රතිසංස්කරණ කටයුතු පැකේජ දෙකක් යටතේ සිදු කිරීමට නියමිත අතර, ඒ සඳහා ඇස්තමේන්තුගත පිරිවැය රුපියල් මිලියන 1,098.50කි. ජාතික තරගකාරී ප්‍රසම්පාදන ක්‍රමවේදය ඔස්සේ අදාළ කොන්ත්‍රාත්කරුවන් තෝරා ගැනීමට නියමිතය. ප්‍රවාහන, මහාමාර්ග සහ නගර සංවර්ධන අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද මෙම යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවිය.
















