1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනත යටතේ 2026-05-07 දිනැති අති විශේෂ ගැසට් පත්‍රය මඟින් ප්‍රකාශයට පත් කර ඇති රෙගුලාසි අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දී ඇත.
2026-06-06 දින සිට බලපැවැත්වෙන පරිදි හයිඩ්‍රොක්ලෝරොෆ්ලෝරෝකාබන් (HCFC) සමඟ පමණක් ක්‍රියාකරන උපකරණ හා උපාංග ආනයනය තහනම් කිරීම සිදු කෙරේ. 2028-01-01 දින සිට බලපැවැත්වෙන පරිදි ශීතකරණ පද්ධතිවල සංරචකයක් ලෙස භාවිත වන හයිඩ්‍රොක්ලෝරොෆ්ලෝරෝකාබන් සහිත සම්පීඩක (compressors) ආනයනය තහනම් කෙරේ. ශීතකරණ සහ වායුසමන ඒකකවල භාවිත වන හයිඩ්‍රොක්ලෝරොෆ්ලෝරෝකාබන් මගින් ඕසෝන් වියන ක්ෂය කිරීම සහ ගෝලීය උණුසුම ඉහළ නැංවීම වැනි අහිතකර බලපෑම් ඇති කරයි. මොන්ට්‍රියෙල් සංධානයට අනුව මෙම රසායනික ද්‍රව්‍ය ගෝලීය වශයෙන් ඉවත් කිරීමට පියවර ගෙන ඇති අතර, ශ්‍රී ලංකාව ද 2030 වසර වන විට අදියරගතව ඒවා ඉවත් කිරීමට බැඳී සිටියි.
















