අමරදේව සෞන්දර්ය හා පර්යේෂණ කේන්ද්‍රය (අමරදේව අසපුව) ඉදිකිරීමේ ව්‍යාපෘතිය මෙම වසර තුළ අවසන් කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වී තිබේ. ව්‍යාපෘතියේ ඉතිරි වැඩ කටයුතු අවසන් කිරීම සඳහා රුපියල් මිලියන 113.17ක ප්‍රතිපාදන සලසා ගැනීමට බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස අනුමැතිය ලැබී ඇත.
ආචාර්ය පණ්ඩිත් අමරදේව ශූරීන්ගේ ජාතික මෙහෙවර අගයනු පිණිස 2017 වසරේ අයවැය යෝජනාවකට අනුව මෙම කේන්ද්‍රය ඉදිකිරීම එවකට ජනමාධ්‍ය අමාත්‍යාංශය මගින් ආරම්භ කරන ලදී. ඉදිකිරීම් ආරම්භ කර වසර 9ක් පමණ ගතවී ඇතත්, මේ දක්වා එම කටයුතු අවසන් කිරීමට නොහැකි වී තිබේ. 2025 වර්ෂයේදී මහා භාණ්ඩාගාරය විසින් ඉදිකිරීම් අවසන් කිරීමට සහ කාර්යාලීය උපකරණ මිලදී ගැනීමට රුපියල් මිලියන 226.18ක ප්‍රතිපාදන වෙන් කර තිබූ අතර, ඉන් රුපියල් මිලියන 141.54ක් පමණක් එම වසර තුළ වැය වී ඇත.















