මහනුවර – මාතලේ මාර්ගයේ අකුරණ නගරයේදී සැකකටයුතු වෑන් රථයක් පරීක්ෂා කිරීමට යාමේදී, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බවට සැක කෙරෙන රියැදුරෙකු පොලිස් සැරයන්වරයෙකුට බරපතල තුවාල සිදුකර වාහනය සමඟ පලාගොස් තිබේ.අද (ජූනි 02) අලුයම 3.00 ට පමණ අකුරණ නගරයේ ජංගම මුරසංචාරයේ යෙදී සිටි නිලධාරීන් විසින් මෙම වෑන් රථය පරීක්ෂා කිරීමට නතර කර ඇත. රියැදුරු විසින් වාහනයේ ලේඛන පොලීසියට ලබාදෙන අතරතුර, රියැදුරු අසුනේ වීදුරුව වසා දැමීමෙන් පොලිස් සැරයන්වරයාගේ අතක් වීදුරුවට හිර වී තිබේ. අත වීදුරුවට හිරවීම හේතුවෙන් මීටර් 30 ක් පමණ දුරක් පොලිස් සැරයන්වරයා වෑන් රථය සමඟ ඇදී ගොස් බිමට වැටී ඇති අතර, සැකකරු වෑන් රථය නොනවත්වා පලාගොස් ඇත. තුවාල ලැබූ පොලිස් සැරයන්වරයා මේ වන විට අකුරණ රෝහලේ ප්‍රතිකාර ලබයි. මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මෙම වෑන් රථය මාතලේ ප්‍රදේශයෙන් කුලී පදනම මත ලබාගෙන ඇති අතර, එය කුලියට ගෙන ඇත්තේ ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බවයි. සිද්ධිය වන අවස්ථාවේ වාහනය තුළ සැකකරු සමඟ කාන්තාවක ද ගමන් කර ඇති අතර, ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට අලවතුගොඩ පොලීසිය විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇත.
















