වෙසක් පුන් පෝය නිමිත්තෙන් යාපනය ශික්ෂණ රෝහල මගින් සංවිධානය කළ නොමිලේ අක්ෂි කාච ලබාදීමේ සහ ඇසේ සුද ඉවත් කිරීමේ වෙසක් දන්සැල දින තුනක් පුරා සාර්ථකව පවත්වා තිබේ. මෙම කාලසීමාව තුළ අක්ෂි රෝගීන් 312 දෙනෙකුගේ ඇසේ සුද ඉවත් කොට නොමිලේ අක්ෂි කාච සපයා දී ඇත.
පදවිය, අලිවංගුව බෝධිරුක්ඛාරාමාධිපති පෙරියකුලමේ සුගුණ මාහිමිපාණන් වහන්සේගේ අනුශාසකත්වයෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරිණි. යාපනය ශික්ෂණ රෝහලේ අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය එම්. මලරවන් මහතාගේ මූලිකත්වයෙන්, ශල්‍ය විශේෂඥ වෛද්‍යවරුන් වන එස්. සුජීවන් සහ ටී. තිලීපන් යන වෛද්‍ය කණ්ඩායම මෙම සැත්කම් සිදු කළහ. එක්සත් රාජධානියේ Assist RR Organization ස්වේච්ඡා සංවිධානයේ නියෝජිත ආචාර්ය සර්වේස්වරන් මහතා විසින් මූල්‍ය අනුග්‍රහය ලබා දුන් අතර රෝගීන්ට නොමිලේ ගමන් පහසුකම් සහ ආහාරපාන ද සපයා තිබේ. සැත්කම්වලට භාජනය වූ 312 දෙනාගෙන් 215 දෙනෙකුම උතුරු මැද පළාතේ සිංහල ජාතික රෝගීන් වීම විශේෂත්වයකි. වෙසක් සතිය පුරාවටම රෝහලේ අක්ෂි වාට්ටුව වෙසක් කූඩු සහ සැරසිලිවලින් අලංකාර කර තිබුණි.
















