මහා භාණ්ඩාගාරයේ අමෙරිකානු ඩොලර් මිලියන දෙකයි දශම පහක ($ මිලියන 2.5) මුදලක් හැකර් ප්‍රහාරයක් මඟින් වෙනත් පාර්ශ්වයකට යොමුකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව (COPF) ඉල්ලා තිබූ වාර්තාව මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා විසින් තමාගේ පෞද්ගලික නිවසට එවා තිබූ බව එහි සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා අනාවරණ කළේය.
“පෞද්ගලික පරිශීලනය සඳහා පමණයි” (For personal reference only) යනුවෙන් සඳහන් කරමින් එම වාර්තාව නිවසට එවා තිබූ අතර, තමා එය භාරගැනීම සෘජුවම ප්‍රතික්ෂේප කර වහාම ආපසු හරවා යැවූ බව මන්ත්‍රීවරයා සඳහන් කළේය. තමා එම වාර්තාව ඉල්ලා සිටියේ පෞද්ගලික ප්‍රයෝජනයට නොව, සමස්ත මුදල් කාරක සභාව තුළ සාකච්ඡා කිරීමට බවත්, රාජ්‍ය මුදල් පිළිබඳ සොයාබැලීමේ පරමාධිපත්‍ය බලය පවතින්නේ පාර්ලිමේන්තුවට බවත් ඔහු අවධාරණය කළේය.
වාර්තාව මෙලෙස පෞද්ගලිකව එවීම මුදල් කමිටුවේ වගකීම උදුරාගැනීමක් බව පෙන්වා දුන් ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා, කමිටු සාමාජිකයන්ගේ එකඟත්වය මත මුදල් අමාත්‍යාංශයට දැඩි නියෝගයක් පැනවූ බව ද කියා සිටියේය. ඒ අනුව, අදාළ වාර්තාව හෙට (03) දිනයේදී නිල වශයෙන් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු අතර, එය ලැබුණු පසු කමිටුව හමුවේ විනිවිදභාවයකින් යුතුව සාකච්ඡා කිරීමට පියවර ගන්නා බව සභාපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
















