යාපනය විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන හා වාණිජ පීඨයේ සිංහල සිසුන් විසින් සංවිධානය කරන ලද වෙසක් සැමරුම් උත්සවයක ප්‍රදර්ශනය කර තිබූ වෙසක් කූඩුවකට කිසියම් පිරිසක් විසින් හානි සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් එම පීඨයේ ශිෂ්‍ය සංගමය විශේෂ නිල ප්‍රකාශනයක් නිකුත් කරමින් සිය කණගාටුව සහ දැඩි විරෝධය පළ කර තිබේ.
අදාළ නිවේදනය මඟින් ශිෂ්‍ය සංගමය පෙන්වා දෙන්නේ, පීඨයේ සිංහල සිසුන් විසින් සංවිධානය කරන ලද මෙම වෙසක් කූඩු ප්‍රදර්ශනය සඳහා ශිෂ්‍ය සංගමයේ පූර්ණ අනුමැතිය සහ සහයෝගය හිමිව තිබූ බවයි. එමෙන්ම, දමිළ සිසුන් ද මෙම ආගමික හා සංස්කෘතික උත්සවය සාර්ථක කර ගැනීම සඳහා සක්‍රීයව දායක වෙමින් අවශ්‍ය සියලු පහසුකම් සලසා දීමට කටයුතු කර තිබූ බව එම සංගමය අවධාරණය කරයි.
කෙසේ වෙතත්, දැනට පරීක්ෂණයට ලක්ව ඇති යම් කරුණු කිහිපයක් හේතුවෙන් පුද්ගලයින් කිහිපදෙනෙකු විසින් එක් වෙසක් කූඩුවකට හානි සිදු කර ඇති බවත්, පොදු දේපළ විනාශ කිරීමේ මෙම සාපරාධී ක්‍රියාව තමන් දැඩි සේ හෙළා දකින බවත් ශිෂ්‍ය සංගමය පවසයි. මේ සඳහා සෘජුවම වගකිව යුතු පුද්ගලයන් හඳුනාගෙන ඔවුන්ට එරෙහිව නිසි විනයානුකූල පියවර ගත යුතු බව ඔවුන් වැඩිදුරටත් කියා සිටී.
සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වන කළමනාකරණ අධ්‍යයන හා වාණිජ පීඨ ශිෂ්‍ය සංගමය, ඇතැම් පුද්ගලයන් විසින් මෙම හුදකලා සිදුවීම සමස්ත දෙමළ ශිෂ්‍ය ප්‍රජාව පිට පැටවීමට සහ එය වාර්ගික ගැටලුවක් බවට පරිවර්තනය කිරීමට උත්සාහ දරමින් සිටින බව පවසයි. එවැනි චෝදනා අසාධාරණ සහ නොමඟ යවන සුළු වන අතර, එමඟින් සිදුවීමේ සැබෑ තත්ත්වය නිරූපණය නොවන බව ඔවුහු පෙන්වා දෙති. පුද්ගලයන් කිහිප දෙනෙකුගේ නොහොබිනා ක්‍රියාවන් පීඨයේ සිසුන් අතර පවතින එකමුතුකම, අන්‍යෝන්‍ය ගෞරවය සහ සහජීවනය බිඳ දැමීමට හෝ බෙදීම් ඇති කිරීමට යොදා නොගත යුතු බව ඔවුන්ගේ මතය වී තිබේ.
නොමඟ යවන සුළු ව්‍යාජ තොරතුරු සමාජගත කිරීමෙන් වළකින ලෙසත්, වගකීම් සහගතව කටයුතු කරන ලෙසත් සමස්ත ශිෂ්‍ය ප්‍රජාව වෙත අවධාරණය කරන ශිෂ්‍ය සංගමය, අදාළ බලධාරීන්ට මේ පිළිබඳව සාධාරණ පරීක්ෂණයක් පැවැත්වීමට ඉඩ ප්‍රස්ථාව ලබා දෙන ලෙස ද ඉල්ලා සිටී.
















