ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ තිරසර බලශක්ති මධ්‍යස්ථානයක් (Sustainable Energy Hub) බවට පත් කරලීමේ අරමුණින්, ඕස්ට්‍රේලියාවේ සහ යුරෝපයේ නවීනතම තාක්ෂණය සහිත බලශක්ති සමාගම් දෙකක ප්‍රමුඛ පෙළේ ආයෝජකයින් දෙදෙනෙකු ඊයේ (01) රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළෙන් මෙරටට පැමිණ තිබේ. ඕස්ට්‍රේලියානු බලශක්ති සමාගම නියෝජනය කරමින් ඉසුරු යාපා මහතා සහ යුරෝපීය බලශක්ති සමාගම නියෝජනය කරමින් ස්විට්සර්ලන්ත ජාතික ලුඩවිකෝ ෆිනොට්ටෝ (Ludovico Finotto) මහතා මෙලෙස ශ්‍රී ලංකාවට පැමිණ ඇත.
මෙම ආයෝජකයින් මෙරට වැවෙන ශාක පත්‍ර නවීන තාක්ෂණය සමඟ මුසු කරමින් නවතම බලශක්ති ප්‍රභවයක් (Biomass/Green Energy) හඳුන්වා දීමට සැලසුම් කර සිටින අතර, ඊට අමතරව ලොව දියුණුම බලශක්ති තාක්ෂණයන් මෙරටට හඳුන්වා දීමටත්, බැටරි බලශක්ති ගබඩා පද්ධති (Battery Energy Storage Systems) ලංකාව තුළ වැඩිදියුණු කිරීමටත් අපේක්ෂා කරයි.
මෙම සංචාරය තුළදී ඔවුන් මෙරට හරිත බලශක්ති ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය උදෙසා රජයේ ඉහළ පෙළේ බලධාරීන් මෙන්ම ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයන් සමඟ ද ඉදිරි ආයෝජන අවස්ථා පිළිබඳව විශේෂ සාකච්ඡා පැවැත්වීමට නියමිතය.
















