කෘත්‍රිම බුද්ධිය (AI) වැනි තාක්ෂණික වෙනස්කම් සහ සමාජයීය අසමානතා ජය ගැනීම සඳහා හුදු විෂයමාලා සංශෝධනයකට පමණක් සීමා නොවී, ගැඹුරු ව්‍යුහාත්මක අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදු කිරීම අත්‍යවශ්‍ය බව අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මෙණෙවිය ප්‍රකාශ කරයි. කොළඹ රදගුරු දුෂන්ත රොද්‍රිගෝ මහතාගේ ආරාධනයෙන් පසුගිය මැයි 30 වැනිදා Cathedral of Christ the Living Saviour දෙව්මැදුරේ පැවැති ‘රදගුරු සිරිල් අබේනායක අනුස්මරණ දේශනයට’ එක්වෙමින් ඇය මේ බව සඳහන් කළාය.
“21 වැනි සියවසේ ශ්‍රී ලංකාව සහ ඉන් ඔබ්බට අධ්‍යාපනයේ අනාගතය හැඩගැස්වීම” යන තේමාව යටතේ මෙහිදී අදහස් දැක්වූ අගමැතිනිය, මෙරට පවතින “කුසලතා නොගැළපීම” (Skills Mismatch) සහ රාජ්‍ය අංශයේ රැකියා සඳහා පවතින අධික පොරොන්දුව (පෝලිම් සංසිද්ධිය) ආර්ථික අභියෝගයන්ට සෘජුවම බලපා ඇති බව පෙන්වා දුන්නාය. නිදහස් අධ්‍යාපනයේ සැබෑ අරමුණ විය යුත්තේ ශ්‍රම බළකායක් නිර්මාණය කිරීම පමණක් නොව, ප්‍රජාතන්ත්‍රවාදී සමාජයකට ගැළපෙන සදාචාරාත්මක සහ විවේචනාත්මකව සිතන පුරවැසියන් බිහි කිරීම බව ද ඇය අවධාරණය කළාය.
මෙහිදී වත්මන් අධ්‍යාපන පද්ධතිය තුළ වහාම විසඳිය යුතු ප්‍රධාන අර්බුද 5ක් අගමැතිනිය විසින් පෙන්වා දෙන ලදී. ඉන් පළමුවැන්න වන්නේ අධ්‍යාපනය සහතික ලබාගැනීමේ මෙවලමක් ලෙස පමණක් සැලකීම (Credentialism) වන අතර, අධ්‍යාපනය යනු හුදෙක් කඩදාසි සහතික එකතු කිරීමේ උණක් බවට පත්ව ඇති බව ඇය විවේචනය කළාය. ඊට අමතරව අධ්‍යාපන ආයතන අතර පවතින දැඩි පරතරය සහ අසමානතාව, සමාජ වගකීමෙන් යුතු පුරවැසියන් බිහි කිරීමට අපොහොසත් වීම, කාන්තාවන්ගේ අධ්‍යාපනික ජයග්‍රහණ සහ ඔවුන් ශ්‍රම බළකායට දායක වීමේ ප්‍රතිශතය අතර පවතින පරතරය මෙන්ම කෘත්‍රිම බුද්ධිය (AI) වැනි වේගවත් තාක්ෂණික වෙනස්කම්වලට අනුගත වීමේ අවශ්‍යතාව ද එම අර්බුද අතර වේ.
විශේෂයෙන්ම කෘත්‍රිම බුද්ධිය (AI) මඟින් ඇති වන බලපෑම්වලට මුහුණ දීම සඳහා සිසුන්ගේ ඩිජිටල් සාක්ෂරතාව මෙන්ම මාර්ගගත ආරක්ෂාව (Online Safety) ශක්තිමත් කළ යුතු බව අගමැතිනිය සඳහන් කළාය. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සාර්ථක කර ගැනීමට නම් ගුරු වෘත්තියට නැවත සමාජීය වශයෙන් හිමි විය යුතු උතුම් ගෞරවය ලබා දිය යුතු බවත්, මෙම සමස්ත ක්‍රියාවලියේ අවසාන අරමුණ සමාජයට විශ්වාසය තැබිය හැකි නායකයන් බිහි කිරීම බවත් අගමැතිනිය වැඩිදුරටත් කියා සිටියාය.
















