ලබන ජූනි 05 වැනිදාට යෙදෙන ජගත් පරිසර දිනය නිමිත්තෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ පිහිටි තවත් සුවිශේෂී වනාන්තර පහක් රක්ෂිත වනාන්තර ලෙස ප්‍රකාශයට පත් කරන බව පරිසර අමාත්‍ය දම්මික පටබැඳි මහතා පවසයි. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. ඒ අනුව එළඹෙන ජූනි 5 වැනිදා රිටිගල, අලියාවැටුණු වැව රක්ෂිතය, බුලාගල, කෝන්කැටියාව සහ කල්ලංචිය යන වනාන්තර පහ මෙලෙස රක්ෂිත බවට පත් කිරීමට නියමිතය.
මෙම වනාන්තර පහම මෙරට සුවිශේෂී සංවේදී කලාපයන් වන අතර, ඒවා රක්ෂිත බවට පත් කිරීමෙන් හෙක්ටයාර 2,169ක භූමි ප්‍රමාණයක් අලුතින් ආරක්ෂිත කලාපයට එකතු වේ. 2025 ජූලි 15 වැනිදා ගම්පහ බජ්ජංගොඩ රක්ෂිතයෙන් නිල වශයෙන් ආරම්භ කරන ලද ‘වනස්පති’ ජාතික වැඩසටහන යටතේ මේ දක්වා වනාන්තර 81ක් රක්ෂිත ලෙස ගැසට් මඟින් ප්‍රකාශයට පත් කර ඇති අතර, ජූනි 05 වැනිදා ප්‍රකාශයට පත් කෙරෙන මෙම නව වනාන්තර පහත් සමඟින් මෙරට රක්ෂිත බවට පත් කළ සමස්ත වනාන්තර සංඛ්‍යාව 86 දක්වා ඉහළ යන බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
මෙම වැඩසටහන යටතේ 2025 වසරේදී පමණක් හෙක්ටයාර 50,000කට ආසන්න වනාන්තර 29ක් ද, 2026 ජගත් වනාන්තර දිනයේදී දිස්ත්‍රික්ක 4ක් (අම්පාර, බදුල්ල, නුවරඑළිය, මාතර) නියෝජනය වන පරිදි හෙක්ටයාර 12,989ක වනාන්තර 50ක් ද රක්ෂිත කර තිබේ. මීට අමතරව පසුගිය අප්‍රේල් 24 වැනිදා ‘ඒහිපස්සිකෝ සාම පා ගමනට’ සමගාමීව මාතලේ නුගගහමුලයාය සහ කෑගල්ල පදිගම්පැලැල්ල යන වනාන්තර දෙක ද රක්ෂිත ලෙස ප්‍රකාශයට පත් කර ඇත. මෙම මාධ්‍ය සාකච්ඡාව සඳහා වන සංරක්ෂක ජනරාල් චන්දිම පාලමකුඹුර සහ පරිසර අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ඩී.පී.සී. උදය කුමාර යන මහත්වරු ද සහභාගි වූහ.
















