වැඩබලන අටමස්ථානාධිපති පූජ්‍ය ඊතලවැටුණුවැවේ ඤාණතිලක හිමියන්ගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර දිස්ත්‍රික් පොසොන් කමිටුව අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පසුගියදා රැස්විය. අනුරාධපුර දිස්ත්‍රික් ලේකම්වරයා, ආරක්ෂක අංශ ප්‍රධානීන් සහ රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
මෙවර පොසොන් උත්සව සමයේ අනුරාධපුර පූජා නගරයේ ආරක්ෂාව වෙනුවෙන් පොලිස් නිලධාරීන් 3,500කට ආසන්න සංඛ්‍යාවක් යෙදවීමට සැලසුම් කර ඇති බව මෙහිදී තීරණය විය. එමෙන්ම, පෙර දැනුම්දීමකින් තොරව කිසිදු දන්සලක් පැවැත්වීමට අවසර ලබා නොදෙන බවත්, සියලුම දන්සල් රෙගුලාසිවලට අනුකූලව සිදුකළ යුතු බවත් අවධාරණය කෙරිණි.
අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් රංජිත් විමලසූරිය මහතා බැතිමතුන්ගෙන් ඉල්ලා සිටියේ, අනුරාධපුර පූජා භූමිය වෙත පැමිණෙන බැතිමතුන් පරිසරයට හානි නොවන පරිදි ඉතා වගකීමෙන් සහ පරිසර හිතකාමීව සිය කටයුතු සිදුකරන ලෙසයි.
















