ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ (UNICEF) විධායක මණ්ඩලයේ සභාපති රීන් ටැම්සාර් (Rein Tammsaar) මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නියෝජිත පිරිසක් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා හමුවී ද්විපාර්ශ්වික සාකච්ඡාවක නිරත විය. අධිකරණ අමාත්‍යාංශයේදී පැවැති මෙම හමුවේදී මෙරට ළමා සුබසාධනය සහ නීතිමය ක්‍රමවේදවල සිදුකළ යුතු ප්‍රතිසංස්කරණ පිළිබඳව දීර්ඝ වශයෙන් අවධානය යොමු කෙරිණි.
දරුවන් සම්බන්ධ නඩු කඩිනම් කිරීම, ළමා සහ යෞවන ආඥා පනත යාවත්කාලීන කිරීම සහ වීඩියෝ තාක්ෂණය ඔස්සේ දරුවන්ගෙන් සාක්ෂි ලබාගැනීමේ ක්‍රමවේද අමාත්‍යවරයාගේ ප්‍රධාන සාකච්ඡා මාතෘකා විය. අපරාධ නීති විධිවිධාන සංග්‍රහයට සිදුකළ සංශෝධන අනුව දරුවන්ට අධිකරණය හමුවට නොපැමිණ වීඩියෝ තාක්ෂණයෙන් සාක්ෂි ලබාදීමේ හැකියාව උදාවී ඇති බවත්, ඒ පිළිබඳව විනිසුරුවරුන් දැනුම්වත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
වීඩියෝ තාක්ෂණයෙන් සාක්ෂි ලබාගැනීමට අවශ්‍ය විශේෂ කාමර පහසුකම් මේ වන විට නුවර අධිකරණයේ ස්ථාපිත කර ඇති අතර, එම පහසුකම් දිවයින පුරා සෙසු අධිකරණ වෙත ව්‍යාප්ත කිරීමේ අවශ්‍යතාව ද මෙහිදී අවධාරණය කෙරිණි. තවද, ළමා නීති පිළිබඳ දැනුම විනිසුරු පුහුණු ආයතන සහ ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ විෂය මාලාවට ඇතුළත් කිරීමේ වැදගත්කම අමාත්‍යවරයා පැහැදිලි කළේය.
අධිකරණ පද්ධතියේ පවතින නඩු ප්‍රමාදයට ප්‍රධාන හේතුව නීතිපති දෙපාර්තමේන්තුව ඇතුළු ආයතනවල පවතින පුරප්පාඩු බව සඳහන් කළ අමාත්‍යවරයා, එම ගැටලුවලට විසඳුම් ලබාදීමට රජය කටයුතු කරමින් සිටින බවට සහතික විය. මෙම සාකච්ඡාව සඳහා යුනිසෙෆ් සංවිධානයේ ජ්‍යෙෂ්ඨ නියෝජිතයින් රැසක් එක්ව සිටියහ.
















