මැදපෙරදිග කලාපයේ පවතින උණුසුම්කාරී තත්ත්වය හේතුවෙන් තාවකාලිකව ගමන් බිමන් ඇනහිටි ශ්‍රී ලාංකිකයින් 3,000කට ආසන්න පිරිසකට යළි විදෙස්ගත වීමට අවශ්‍ය පසුබිම සකස් කරමින් පවතින බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.
කාර්යාංශයේ සභාපති කෝසල වික්‍රමසිංහ මහතා සඳහන් කළේ, ඔවුන් සඳහා අවශ්‍ය වීසා ලබාගැනීම සහ ගුවන් ටිකට්පත් වෙන් කිරීමේ කටයුතු මේ වන විට ඉතා ක්‍රමවත්ව සිදුකරමින් පවතින බවයි. ඉදිරි සති දෙකත් තුනත් අතර කාලය තුළ කලාපයේ තත්ත්වය සාමාන්‍ය අතට හැරීමත් සමඟ එම ශ්‍රමිකයින්ට තම රැකියා සඳහා විදෙස්ගත වීමට නැවත අවස්ථාව ලැබෙනු ඇතැයි ඒ මහතා විශ්වාසය පළ කළේය.
විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් මැදපෙරදිග රටවලට ශ්‍රමිකයන් යැවීම සහ පුහුණු කිරීමේ වැඩසටහන් කිසිදු බාධාවකින් තොරව අඛණ්ඩව සිදුකරමින් සිටින බවද සභාපතිවරයා අවධාරණය කළේය. දැනට එක්සත් අරාබි එමීර් රාජ්‍යය, සෞදි අරාබිය, කුවේට්, ඕමාන්, බහරේන්, කටාර් සහ ඊශ්‍රායලය වැනි මැදපෙරදිග රටවල ශ්‍රී ලාංකිකයින් මිලියනයකට ආසන්න පිරිසක් සේවය කරමින් සිටින බව වාර්තා වේ.
















