ඉදිරි පොසොන් උත්සව සමයේ කටයුතු පිළිබඳ සමාලෝචනය ඊයේ (02) අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. වැඩබලන අටමස්ථානාධිපති පූජ්‍ය එතලාවැටුණුවැවේ ඥාණතිලක ස්වාමින් වහන්සේගේ ප්‍රධානත්වයෙන් සහ අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් රංජිත් විමලසූරිය මහතා, ආරක්ෂක අංශ නියෝජිතයින් සහ රජයේ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්විණි.
පොසොන් උත්සව සමයේ අනුරාධපුර පූජා නගරයේ ආරක්ෂාව වෙනුවෙන් විශේෂ අවධානයක් යොමු කර ඇති අතර, බැතිමතුන්ගේ සහ අනුරාධපුරයට පැමිණෙන ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා පොලිස් නිලධාරීන් 3,500ක් පමණ යෙදවීමට තීරණය කර ඇත. මීට අමතරව, පොසොන් උත්සවයේදී දන්සල් පැවැත්වීම සඳහා අදාළ බලධාරීන්ගෙන් නිසි අනුමැතිය ලබා ගැනීම අනිවාර්ය බව නිලධාරීන් අවධාරණය කළහ.
දිස්ත්‍රික් ලේකම් රංජිත් විමලසූරිය මහතා මෙහිදී අදහස් දක්වමින් ඉල්ලා සිටියේ, පොසොන් උත්සව සමයේදී බැතිමතුන් සහ සංචාරකයින් වගකීමෙන් කටයුතු කරමින් පරිසරය ආරක්ෂා කර ගැනීමට සහය ලබා දෙන ලෙසයි. පූජා භූමියේ පවිත්‍රතාවය රැකගැනීම සහ එම ප්‍රදේශයේ පරිසරය ආරක්ෂා කිරීමේ වැදගත්කම ඔහු වැඩිදුරටත් සිහිපත් කළේය.
















