ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය තුළ විශේෂඥ වෛද්‍යවරුන් නියෝජනය කරන ප්‍රමුඛතම වෘත්තීය ආයතනය වන Royal Australasian College of Physicians (RACP) හි අධ්‍යක්ෂ මණ්ඩලයට ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ප්‍රවීණ ස්නායු රෝග විශේෂඥ වෛද්‍ය, මහාචාර්ය තිස්ස විජේරත්න මහතා වැඩි ඡන්දයෙන් තේරී පත්වී ඇත. මැයි 29 දා පැවති ඡන්ද විමසීමේදී ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය පුරා සිටින විශේෂඥ වෛද්‍යවරුන්ගේ සහාය ලබා ගනිමින් ඔහු මෙම තනතුරට පත්ව ඇති අතර, මෙය ඕනෑම ජ්‍යෙෂ්ඨ විශේෂඥ වෛද්‍යවරයෙකුට හිමිවිය හැකි ඉහළම ගෞරවයක් ලෙස සැලකේ.
මහාචාර්ය තිස්ස විජේරත්න මහතා මෙල්බන්හි Western Health ආයතනයේ ස්නායු රෝග හා අංශභාග ඒකකයේ ප්‍රධානියා ලෙස කටයුතු කරයි. වෛද්‍ය වෘත්තීය ප්‍රමිතීන්, සෞඛ්‍ය ප්‍රතිපත්ති, වෛද්‍ය අධ්‍යාපනය සහ මහජන සෞඛ්‍ය ප්‍රවර්ධනය සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය තුළ ප්‍රධාන නායකත්වයක් ලබාදෙන දිගු ඉතිහාසයක් සහිත ආයතනයක් ලෙස RACP සැලකේ. ශ්‍රී ලංකාවේ බණ්ඩාරවෙල ප්‍රදේශයෙන් සිය අධ්‍යාපන කටයුතු ආරම්භ කළ ඔහු, වසර 20කට අධික කාලයක් පුරා ඔස්ට්‍රේලියාවේ ස්නායු රෝග, අංශභාග, හිසරදය, පාකින්සන් රෝගය සහ පශ්චාත් කොවිඩ් තත්ත්වයන් පිළිබඳ පර්යේෂණ හා ප්‍රතිකාර ක්ෂේත්‍රයේ විශාල සේවයක් ඉටු කර තිබේ.
















