2020 වර්ෂයේ ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ කම්බිකොටුවත්ත ප්‍රදේශයේදී තියුණු ආයුධවලින් පහරදී සිදුකළ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයට සම්බන්ධව තවත් සැකකරුවෙකු කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම ඝාතනයට අදාළව මීට පෙර සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.
අත්අඩංගුවට ගත් නවතම සැකකරු එම අපරාධයට ආධාර අනුබල දුන් අයෙකු බව විමර්ශනවලදී අනාවරණය වී ඇත. කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (03) රාත්‍රියේ මීතොටමුල්ල රේල් පාර අසලදී මොහුව අත්අඩංගුවට ගෙන ඇත්තේ සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 13යි මිලිග්‍රෑම් 10ක් ද සොයාගැනීමෙන් පසුවය. වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි පුද්ගලයෙකු මෙම ඝාතනයට ගොදුරු වී තිබූ අතර, පුද්ගලික ආරවුලක් මෙම අපරාධයට හේතු වී ඇති බව පොලිස් විමර්ශනවලදී තහවුරු වී තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
















