පොලොන්නරුව මාදුරුඔය කුඩාඔය හරස් කර අනවසරයෙන් ඉදිකර ඇති අමුණු අටක් හේතුවෙන් ඉන් පිටාර ගලන ජලයෙන් මෙවර යල කන්නයේ වපුරන ලද අක්කර 100කට අධික වී වගාවක් විනාශ වී ඇති බව වැලිකන්ද නාමල්ගම ගොවීහු පවසති. මෙම අමුණු හේතුවෙන් කුඹුරු ඉඩම් ජලයෙන් යටවීම නිසා වී වගාව ආරම්භ කිරීමට නොහැකිවී ඇති අතර, සමහර කුඹුරු සඳහා ජලය නොලැබීමෙන් පවතින පැළ ගොයම විනාශ වීමේ දැඩි අවදානමක් පවතින බව ඔවුහු පෙන්වා දෙති.
2010 වසරේ සිට ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය ඇතුළු අදාළ බලධාරීන් වෙත මේ පිළිබඳව කොතෙක් දැනුවත් කළද, මෙතෙක් ස්ථිර විසඳුමක් නොලැබීම ගොවීන්ගේ දැඩි අප්‍රසාදයට හේතු වී ඇත. සංවිධානාත්මක පිරිසක් විසින් රක්ෂිත ප්‍රදේශය තුළ අනවසරයෙන් මෙම අමුණු ඉදිකිරීම නිසා නීත්‍යනුකූල ඔප්පු හිමි ගොවීන්ට තම කුඹුරු වගා කර ගැනීමට නොහැකිව විශාල පාඩුවක් සිදු වී තිබේ.
මෙම අනවසර වගා කටයුතු නිසා වනඅලි වාසස්ථාන විනාශ වී ඇති අතර, එමගින් වනඅලි නිතර නිතර තම වගාවන්ට හානි කරන බවද ගොවීහු සඳහන් කරති. මීට අමතරව, අස්වැන්න විනාශ වීම හේතුවෙන් රජයට සෑම කන්නයකදීම රුපියල් ලක්ෂ පනහකට වැඩි වන්දි මුදලක් ගෙවීමට සිදුවන බව පවසන ගොවීන්, අනවසර අමුණු ඉවත් කර වගා කිරීමට අවස්ථාව සලසා දෙන්නේ නම් එම වන්දි මුදල රජයට ඉතිරි කරගත හැකි බව පෙන්වා දෙති.
මෙම ගැටලුව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ මහවැලි බී කලාපීය අසේලපුර කොට්ඨාස කාර්යාලයෙන් කළ විමසීමේදී, එම කාර්යාලයේ නිලධාරිනියක සඳහන් කළේ අදාළ ස්ථානය කඩිනමින් නිරීක්ෂණය කර අනවසරයෙන් ඉදිකර ඇති අමුණු ඉවත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවයි.
















