කුවේට් ජාත්‍යන්තර ගුවන් තොටුපොළට ඉරානය විසින් එල්ල කරන ලද ප්‍රහාරයකින් තුවාල ලැබූ 63 දෙනා අතර ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකු ද සිටින බව කුවේට්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය තහවුරු කරයි.
කුවේට්හි ශ්‍රී ලංකා තානාපති ආචාර්ය ලක්ෂිත රත්නායක මහතා සහ කම්කරු අංශයේ ප්‍රධානී එම්. ආර්. සී. බී. ඒකනායක මහතා රෝහලට ගොස් ප්‍රතිකාර ලබන එම ශ්‍රී ලාංකිකයන් නිරීක්ෂණය කළහ. තානාපතිවරයා පවසා ඇත්තේ මෙම ශ්‍රී ලාංකිකයන් තිදෙනා ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ ගුවන් තොටුපොළේ නඩත්තු කටයුතුවල නිරතව සිට ඇති බවයි. බිඳී ගිය වීදුරු කැබලි වැදීමෙන් ඔවුන්ගේ හිස සහ ශරීරයේ අනෙකුත් ප්‍රදේශවලට තුවාල සිදුවී ඇති අතර, ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොවන බවත් දින එකක් හෝ දෙකක් ඇතුළත රෝහලෙන් පිටව යා හැකි බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
මෙම ප්‍රහාරය හේතුවෙන් කුවේට් ප්‍රධාන ගුවන් තොටුපොළ (T1) තාවකාලිකව වසා දැමීමට සිදුවූ අතර, ඉන් ඉන්දීය ජාතිකයෙකු ජීවිතක්ෂයට පත්ව ඇත. කුවේට් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු පැවසුවේ ගිලන් රථ 25ක් යොදවා තුවාලකරුවන් රෝහල් වෙත යොමු කළ බවයි. තුවාල ලැබූවන් අතර හිසට සිදුවූ බරපතළ තුවාල, මොළයේ ලේ ගැලීම්, අත් පා අහිමි වීම් සහ පිපිරීම් හේතුවෙන් ඇතිවූ තුවාල පවතින බවද වාර්තා වේ.
පවතින තත්ත්වය පිළිබඳව කුවේට් රජයේ ආයතන විසින් නිකුත් කරනු ලබන මාර්ගෝපදේශ පිළිබඳව දැඩි අවධානයෙන් සිටින ලෙස කුවේට්හි වෙසෙන සියලුම ශ්‍රී ලාංකිකයන්ගෙන් තානාපති කාර්යාලය ඉල්ලා සිටී.
















