ශ්‍රී ලංකාව, ලොව විශාලතම නිදහස් වෙළෙඳ ගිවිසුම ලෙස සැලකෙන ‘කලාපීය විස්තීර්ණ ආර්ථික හවුල්කාරිත්වයේ’ (RCEP – Regional Comprehensive Economic Partnership) සාමාජිකත්වය ලබා ගැනීම සඳහා වන රාජ්‍යතාන්ත්‍රික පියවර සාර්ථක කරගෙන ඇතැයි විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක ඇමැති විජිත හේරත් මහතා ප්‍රකාශ කරයි.
සිය ඔස්ට්‍රේලියානු සහ නවසීලන්ත නිල සංචාරය අවසන් කරමින් කැන්බරා නුවරදී අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කළේ, RCEP සංවිධානයේ ප්‍රධාන සාමාජිකයන් වන ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය, ශ්‍රී ලංකාවට එහි සාමාජිකත්වය ලබා ගැනීම සඳහා තම පූර්ණ සහයෝගය ලබා දීමට එකඟතාව පළ කර ඇති බවයි. මෙම හවුල්කාරිත්වය මගින් ශ්‍රී ලංකාවට ආසියානු-පැසිෆික් කලාපීය රටවල් සමඟ ශක්තිමත් ආර්ථික හා වෙළෙඳ සබඳතා ගොඩනඟා ගැනීමට අවස්ථාව උදාවේ.
ආසියානු පැසිෆික් කලාපයේ ආර්ථික සහයෝගිතාව ඉහළ නැංවීම සඳහා රටවල් 15ක සහභාගිත්වයෙන් පිහිටුවා ඇති RCEP සංවිධානයට ASEAN කලාපීය රටවල් 10 මෙන්ම ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, ජපානය, චීනය සහ දකුණු කොරියාව යන ප්‍රධාන ආර්ථික බලවතුන් අයත් වේ.
එමෙන්ම, මෙම නිල සංචාරයේ තවත් සුවිශේෂී ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර සෘජු ගුවන් සබඳතා තවදුරටත් වර්ධනය කර ගැනීමට එකඟතාවකට පැමිණ තිබේ. ඒ අනුව, එළඹෙන අගෝස්තු මාසයේ සිට දෙරට අතර සෘජු ගුවන් ගමන් ආරම්භ කිරීමට ඔස්ට්‍රේලියාව බලාපොරොත්තු වන බව ඇමැති විජිත හේරත් මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.
















