දේශීය වෙළෙඳපොළ තුළ දීර්ඝ කාලයක තිස්සේ පවතින බදු පැහැරහැරීම්, භාණ්ඩ ආනයනයේදී සිදුවන අඩු මිල ප්‍රකාශ කිරීම් (Undervaluation) සහ ප්‍රමිතියෙන් තොර පාරිභෝගික භාණ්ඩ අලෙවි කිරීමේ ජාවාරම්වලට තිරසාර විසඳුම් සෙවීම සඳහා රජයේ ඉහළම ආයතන ප්‍රධානීන්ගේ සහභාගීත්වයෙන් තීරණාත්මක සාකච්ඡාවක් ඊයේ (03) කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේදී පවත්වා තිබේ. කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම විශේෂ හමුව සඳහා මුදල් අමාත්‍යාංශය, කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය, වෙළෙඳ අමාත්‍යාංශය, පාරිභෝගික කටයුතු අධිකාරිය, ශ්‍රී ලංකා රේගුව මෙන්ම දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් ඉහළම නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ. දේශීය කර්මාන්තකරුවන් මුහුණ දෙන ගැටලු පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස විමර්ශනය කර ඇති අතර, වෙළෙඳපොළේ සිදුවන මූල්‍ය වංචා වැළැක්වීම සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි නිශ්චිත සහ දැඩි ක්‍රියාමාර්ග කිහිපයකට එළඹීමට ද නායකත්වය එකඟතාව පළ කර ඇත.
ඒ අනුව, වෙළෙඳපොළ තුළ දැනට ඇතැම් ආයතන විසින් බදු මඟහැරීම සඳහා අනිසි ලෙස භාවිත කරනු ලබන “On Approval Bill” ක්‍රමවේදය ඉදිරියේදී සම්පූර්ණයෙන්ම අහෝසි කිරීමට තීරණය කර තිබේ. මින් ඉදිරියට භාණ්ඩ අලෙවි කරනු ලබන සෑම ව්‍යාපාරික ආයතනයක්ම තමන් සන්තකයේ පවතින භාණ්ඩ සඳහා සැපයුම්කරුගේ විස්තර, ආනයනකරුගේ විස්තර මෙන්ම සැපයුම්කරුගේ නිල ඉන්වොයිසි (Invoice) ළඟ තබා ගැනීම අනිවාර්ය වනු ඇත. මෙම දැඩි පියවර හරහා ‘Backward Audit’ ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති අතර, එමඟින් දේශීය වෙළෙඳපොළේ අලෙවියට තබා ඇති ඕනෑම භාණ්ඩයක මූලාශ්‍රය සහ සමස්ත සැපයුම් දාමය ඉතා පහසුවෙන් සොයා බලා නීතිමය පියවර ගැනීමට පාලකයින්ට හැකියාව ලැබෙනු ඇත.
මීට අමතරව, නියමිත ප්‍රමිතීන්ට අනුකූල නොවන හෝ සාමාන්‍ය නිෂ්පාදන පිරිවැයට වඩා අසාමාන්‍ය ලෙස අඩු මිලකට අඛණ්ඩව භාණ්ඩ අලෙවි කරනු ලබන සැකකටයුතු ව්‍යාපාරික ස්ථාන සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රේගුව සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඒකාබද්ධව අඛණ්ඩ විමර්ශන (Investigations) සිදු කිරීමට ද නියමිතය. රජයේ නව තීරුබදු ප්‍රතිපත්තිය යටතේ ඉදිරි කාලයේදී CESS බදු සහ PAL බදු ඉවත් කිරීමට සැලසුම් කර ඇති බැවින්, දේශීය ව්‍යවසායකයා ආරක්ෂා වන පරිදි සාධාරණ සහ තරඟකාරී වෙළෙඳපොළ වටපිටාවක් නිර්මාණය කිරීම උදෙසා වත්මන් පාලනය ගන්නා මෙම නවතම ක්‍රියාමාර්ග අතිශය තීරණාත්මක සහ වැදගත් හැරවුම් ලක්ෂ්‍යයක් වනු ඇතැයි නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා වැඩිදුරටත් අවධාරණය කරයි.
















