අම්බලන්තොට, මාමඩල, මොකුටුයාය ප්රදේශයේදී පුද්ගලයකුට වෙඩි තබා, කපා කොටා ඝාතනය කර, හිස කඳින් වෙන්කර පිළිමයක එල්ලා තැබීමේ අමානුෂික අපරාධයට සම්බන්ධ ප්රධාන සැකකරුවන් තිදෙනා හඳුනාගැනීමේ පෙරට්ටුවකදී හඳුනාගෙන තිබේ.
හම්බන්තොට ප්රධාන මහේස්ත්රාත් වයි. ආර්. බී. නෙළුම්දෙනිය මහතා ඉදිරියේ පැවති මෙම හඳුනාගැනීමේ පෙරට්ටුවේදී, මියගිය පුද්ගලයාගේ බිරිඳ සහ දියණිය විසින් අපරාධය සිදුකිරීමට නිවසට පැමිණි සැකකරුවන් තිදෙනා නිවැරදිව හඳුනාගනු ලැබීය.
පසුගිය මැයි මස 12 වැනිදා තංගල්ල විශේෂ අපරාධ විමර්ශන කාර්යාංශය මගින් සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන අම්බලන්තොට පොලිසිය වෙත භාරදීමෙන් පසු මෙම විමර්ශන ආරම්භ විය. පසුව, මෙම ඝාතනයට ආධාර අනුබල දුන් බවට තවත් පුද්ගලයකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරිණි.
හඳුනාගැනීමේ පෙරට්ටුව අවසානයේ, අදාළ ප්රධාන සැකකරුවන් තිදෙනා සහ ආධාර අනුබල දුන් සැකකරු ඇතුළු සිව්දෙනාම එළඹෙන ජුනි මස 18 වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමට හම්බන්තොට ප්රධාන මහේස්ත්රාත්වරයා නියෝග කළේය.
















