මෙරට ගොවි ජනතාව දිරිමත් කරමින් රජය විසින් හෙක්ටයාරයකට ලබා දෙන පොහොර සහනාධාරය රුපියල් 30,000 දක්වා ඉහළ දැමීමට පියවර ගෙන ඇති බව ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල් ධම්මික රණතුංග මහතා පවසයි. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (05) පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් කොමසාරිස් ජනරාල්වරයා ප්‍රකාශ කළේ, මීට පෙර පැවති සහනාධාර මුදල මෙවර රුපියල් 5,000කින් වැඩි කිරීමට රජය තීරණය කර ඇති බවයි.
මෙම සුවිශේෂී සහන වැඩපිළිවෙළ යටතේ දිවයින පුරා සිටින ගොවීන් 502,836 දෙනෙකුට සෘජුවම සහනාධාර ප්‍රතිලාභ හිමිවන බව පෙන්වා දුන් ඒ මහතා, ඒ වෙනුවෙන් රජය විසින් රුපියල් මිලියන 10,947ක දැවැන්ත මුදලක් වැය කිරීමට නියමිත බවද සඳහන් කළේය. ගොවීන්ට කිසිදු අපහසුතාවයකින් තොරව වගා කටයුතු සිදුකරගෙන යාම සඳහා මෙම සමස්ත සහනාධාර මුදල කොටස් වශයෙන් නොව, එකවරම අදාළ සියලුම ගොවි ගිණුම් වෙත සෘජුවම බැර කිරීමට අවශ්‍ය කටයුතු සූදානම් කර ඇති බවද ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල් ධම්මික රණතුංග මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.
















